රෝම 1
1
ආචාරය
1ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ දාසයෙකු වන, උන් වහන්සේගේ සුබ අස්න දේශනා කිරීම පිණිස ප්‍රේරිතවරයෙකු වීමට දේව වරමින් කැඳවීම ලත්, පාවුලු වෙතිනි.
2බොහෝ කලකට පෙර දෙවියන් වහන්සේ ස්වකීය දිවැසිවරයන් මඟින් ඒ සුබ අස්න ගැන ශුද්ධ ලියවිල්ලෙහි පොරොන්දු දුන් සේක. 3ඒ සුබ අස්න උන් වහන්සේගේ පුත්‍ර වූ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ ව ය. පරපුර අනුව බලන විට උන් වහන්සේ දාවිත් රජුගේ පෙළපතෙහි උපන් සේක; 4එහෙත්, පාරිශුද්ධභාවයේ ආත්මයාණන් කරණකොටගෙන මරණයෙන් උත්ථාන වීම නිසා දේව පුත්‍රයාණන් බවට ප්‍රබල සාක්ෂියක් වූ සේක. 5සියලු ජාතීන් ඇදහිල්ලට පමුණුවන පිණිස ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ප්‍රේරිතවරයෙකු වීමේ වරම මම උන් වහන්සේ අතින් ලදිමි. 6ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගෙන් කැඳවීම ලත් බැවින්, ඔබ ද ඒ ඇදහිලිවතුන්ගේ සංබ්‍යාවට අයිති ය. 7දෙවියන් වහන්සේට ප්‍රිය වූ, උන් වහන්සේට කැප කරන ලද සෙනඟක් වන රෝමයෙහි සිටින ඔබ හැම දෙනා වෙත මෙය ලියා එවමි. අපගේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබට වේ වා!
රෝමය බලා යාමේ අදහස
8පළමුකොට, ඔබගේ ඇදහිල්ල ලොව පුරා පතළ වී ඇති බැවින් ඔබ සියල්ලන් ගැන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් මාගේ දෙවියන් වහන්සේට තුති පුද කරමි. 9ස්වකීය පුත්‍රයාණන්ගේ සුබ අස්න දේශනා කිරීමෙන් මා මුළු සිතින් සේවය කරන දෙවියන් වහන්සේ ම, මෙහි මා කියන දේ සත්‍ය බවට සාක්ෂි දරනු ඇත. 10මාගේ යාච්ඤාවල දී නිරන්තරයෙන් ඔබ ගැන සඳහන් කරන විට දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් ඔබ දැකගැන්මට ඊමේ අවස්ථාවක් සැලසෙන ලෙස මා නිතර ම අයැදින බව දෙවියන් වහන්සේ දන්නා සේක. 11ඔබ ධෛර්යවත් කරවන පිණිස යම්කිසි ආධ්‍යාත්මික ආශීර්වාදයක් හවුලේ භුක්ති විඳීමට ඔබ දැකගැනීමේ තද ආශාවක් මට ඇත. 12ඉන් මා අදහස් කරන්නේ, මාගේ ඇදහිල්ල නිසා ඔබ ද ඔබේ ඇදහිල්ල නිසා මා ද ශක්තිසම්පන්න වීම ය. 13#ක්‍රියා 19:21මාගේ සහෝදරවරුනි, අන්‍ය ජාතීන් අතර මෙන් ඔබ අතරෙහිත් යම් ප්‍රතිඵලයක් අත්පත් කරගන්නා පිණිස, මම ඔබ වෙත ඊමට බොහෝ වර උත්සාහ දැරීමි. එහෙත් මේ වන තුරු එය සාර්ථක නො වූ බව ඔබට දන්වනු කැමැත්තෙමි. 14ග්‍රීකයන් හා අන්‍යයන් ද උගතුන් හා නූගතුන් ද සම්බන්ධයෙන් මට වගකීමක් ඇත. 15රෝමයෙහි වසන ඔබටත් සුබ අස්න දේශනා කිරීමෙහි දැඩි ආශාවක් මට ඇත්තේ ඒ නිසා ය.
සුබ අස්නෙහි බලය
16 #
මාක් 8:38
මම සුබ අස්න ගැන කිසිසේත් ලජ්ජා නොවෙමි. මන්ද, අදහාගන්නා සියල්ලන්ට, පළමුකොට ජුදෙව්වරුන්ට ද, දෙවනු ව ග්‍රීකයන්ට ද එය ගැළවීම සලසන දෙවියන් වහන්සේගේ බලය වන හෙයිනි. 17#හබ 2:4මනුෂ්‍යයන් දමිටු කරනු ලැබීමේ මාර්ගය, මුල සිට අග දක්වා ම ඇදහිල්ලෙන් වන බව දැන් සුබ අස්න නිසා එළිදරව් වී ඇත. ශුද්ධ ලියවිලිවල සඳහන් පරිදි: “ඇදහිල්ලෙන් දමිටු බවට පැමිණි අය ජීවනය අත්කරගනිති.”
පාපිෂ්ඨ ලෝකය
18අධර්මයෙන් සත්‍යයට අකුල් හෙළන මිනිසුන්ගේ අභක්තිය හා අධර්මිෂ්ඨකමට විරුද්ධ ව දේව උදහස ස්වර්ගයෙන් ප්‍රකාශ වන්නේ ය. 19දෙවියන් වහන්සේ ගැන දත හැකි සියල්ල ඔවුන් ඉදිරියේ සක්සුදක් සේ පැහැදිලි ය; දෙවියන් වහන්සේ ම එය ඔවුනට අනාවරණය කර දී ඇත. 20ලෝකය මැවූ තැන් සිට, ඇසට නොපෙනෙන උන් වහන්සේගේ දිව්‍ය ලක්ෂණ වන උන් වහන්සේගේ සදාතන බල මහිමයත් දේවත්වයත් ඔවුන්ගේ මනසට පෙනී යන පරිදි උන් වහන්සේගේ මැවිලිවලින් ප්‍රකාශ කර ඇත. එබැවින් ඔවුන්ගේ නිදහසට ඉදිරිපත් කළ හැකි කරුණු කිසිවක් නැත. 21#එපී 4:17-18 දෙවියන් වහන්සේ ගැන දැන දැනත්, උන් වහන්සේට පිදිය යුතු ගෞරවය වත්, තුතිපැසසුම් වත් ඔව්හු උන් වහන්සේට නොපිදූ හ. මෙසේ ඔවුන්ගේ තර්ක විතර්ක නිස්සාර බවට පත් වී, ඔවුන්ගේ මුළා ව ගිය මනස අඳුරු විය. 22සිය ප්‍රඥාව ගැන පුරසාරම් දෙඩූ ඔවුන් අඥානයන් වී ඇත. 23#ද්වි.නී. 4:16-18 ඔව්හු අජරාමර දෙවියන් වහන්සේගේ තේජශ්‍රීය වෙනුවට, ජරාපත් වන මිනිසුන්ගේ ද පක්ෂීන්ගේ ද සිව්පාවුන්ගේ ද උරගයන්ගේ ද සමානකම් ඇති පිළිරූ යොදාගත්හ.
24එබැවින් දෙවියන් වහන්සේ ඔවුන්ගේ මාංසික තෘෂ්ණාවලට ද කායික දූෂණවලට ද ඔවුන් පාවා දුන් සේක. 25එසේ කෙළේ ඔවුන් දෙවියන් වහන්සේගේ සත්‍යය වෙනුවට මිථ්‍යාවක් වැළඳ ගෙන, මැවුම්කාරයාණන් වෙනුවට මැවිල්ලට වැඳුම්පිදුම් හා ගැතිකම් කළ නිසා ය. උන් වහන්සේට සදහට ම ප්‍රශංසා වේ වා! ආමෙන්.
26ඒ නිසා දෙවියන් වහන්සේ ඔවුන් නින්දිත කාම තෘෂ්ණාවලට වහල් කළ සේක. ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වාභාවික පුරුෂ සේවනය වෙනුවට තම තමන් අතර අස්වාභාවික ස්ත්‍රී සේවනයෙහි ම යෙදුණා හ. 27එසේ ම පුරුෂයෝ ද ස්වාභාවික ස්ත්‍රී සේවනය වෙනුවට තම තමන් අතර කාම තෘෂ්ණාවෙන් දැවුණෝ ය; පුරුෂයන් සමඟ නින්දිත ක්‍රියාවල යෙදී, තමන්ගේ දුරාචාරයට සුදුසු දඬුවම් ලැබූ හ.
28තවද ඔවුන් සිය බුද්ධියෙහි දෙවියන් වහන්සේට තැනක් දීම නුසුදුසු යයි සිතූ බැවින්, නුසුදුසු දේ කරන පිණිස තමන්ගේ ම දූෂිත චේතනාවන්ට ගොදුරු වීමට දෙවියන් වහන්සේ ඉඩ හැරිය සේක. 29ඔව්හු සියලු ආකාර දුෂ්ටකමින් ද නපුරෙන් ද ලෝභයෙන් හා ද්වේෂයෙන් ද ඊර්ෂ්‍යාවෙන් ද මිනී මැරීමෙන් ද දබරයෙන් ද වංචාවෙන් ද ක්‍රෝධයෙන් ද පූර්ණ ව සිටිති. ඔව්හු ඕපාදූප දොඩන, කේළාම් කියන, 30දෙවියන් වහන්සේට වෛර කරන, නින්දා කරන, උඩඟු වූ, පාරට්ටු කරගන්න, නපුරු උපා යොදන, මව්පියන්ට අකීකරු වන, 31පොරොන්දු කඩ කරන, අඥාන වූ, අනුකම්පාව නැති, දයාව නැති, අය ව සිටිති. 32මෙබඳු දේ කරන්නෝ මරණයට සුදුසු ය, යන දෙවියන් වහන්සේගේ නියෝගය දැන දැනත් ඒ දේ ම කරති. එපමණක් නොව, ඒ දේ කරන අයට අනුබල ද දෙති.
Nke Ahọpụtara Ugbu A:
රෝම 1: NRSV
Mee ka ọ bụrụ isi
Mapịa
Lee anya n'etiti ihe abụọ
Kesaa
Ịchọrọ ka echekwaara gị ihe ndị gasị ị mere ka ha pụta ìhè ná ngwaọrụ gị niile? Debanye aha gị ma ọ bụ mee mbanye
Ceylon Bible Society