ක්‍රියා 21
21
යෙරුසලම වෙත ගමන
1ඔවුන්ගෙන් සමුගත් පසු, නැව් නැගුණ අපි කෙළින් ම කෝස් වෙත යාත්‍රා කළෙමු. පසු දා රෝදස් ද එතැනින් පතාරා වෙත ද ළඟා වීමු. 2පිනීකිය වෙත යන නැවක් එහිදී හමු වූයෙන්, අපි එහි නැගී පිටත් වුණෙමු. 3සයිප්‍රසය පෙනෙනා මානයට පැමිණි පසු, එය වම් පසින් තිබෙන සේ යාත්‍රා කරමින්, අපි සිරියා වෙත ළඟා වී, තීර් වරායෙන් ගොඩ බැස්සෙමු. එහිදී නැවෙහි බඩු ගොඩ බෑමට නියමිත ව තිබිණි. 4එබැවින් අපි තීර්හි ගෝලයින් සොයා ගොස්, හත් දවසක් එහි ඔවුන් හා ගත කළෙමු. ශුද්ධාත්මයාණන් විසින් දන්වනු ලැබ, යෙරුසලමට නො යන ලෙස ඔවුහු පාවුල්ට ඇවිටිලි කළහ. 5එහෙත් අප යා යුතු කාලය පැමිණි විට අපි එතැනින් පිටත් ව, යළි ගමන් ඇරඹීමු. ගෝලයෝ සැවොම තම භාර්යාවන් හා දරුවන් කැටිව නගර සීමාවෙන් පිටතට එන තුරු අප හා ආහ. අපි වෙරළේ දණින් හිඳ, යාච්ඤා කර, 6අපි එකිනෙකාගෙන් සමුගෙන, නැවට නැගුණෙමු. ඔවුහු ද නිවෙස් බලා ගියහ.
7තීර්හි සිට යළි මුහුදු ගමනේ යෙදුණු අපි, තොලමයිසට ගොඩ බැස, එහි සහෝදරයනට ආචාර කොට, ඔවුන් සමඟ දවසක් ගත කළෙමු. 8පසු දා අපි එතැනින් පිටත් ව, කායිසාරියට ළඟා වී, හත්දෙනාගෙන් කෙනකු වූ ධර්ම දූත පිලිප්ගේ නිවසේ නවාතැන් ගතිමු. 9දිවැස් වැකි පවසන අවිවාහක දූවරු හතර දෙනෙක් ඔහුට වුන්හ.
10අප එහි කිහිප දවසක් ගත කළ පසු, දිවැසිවරයෙක් වූ අගබස් යුදයේ සිට එහි අවුත්, 11අප වෙත පැමිණ, පාවුල්ගේ ඉඟ පටිය ගෙන, ඉන් තම අත් හා පා බැඳ, “යෙරුසලමේ යුදෙව්වරුන් මේ ඉඟ පටිය හිමි තැනැත්තා මේ අයුරින් ම බැඳ, විජාතීන් අතට පාවා දෙනු ලබන බව ශුද්ධාත්මයාණන්වහන්සේ පවසන සේකැ” යි කීවේ ය.
12ඒ ඇසූ අපත්, එහි සිටි සෙසු අයත් පාවුල්ට කන්නලව් කළේ යෙරුසලමට නො යන ලෙසට ය. 13පාවුල් පිළිතුරු දෙමින්, “හඬා දොඩා මගේ හද කඩන්නේ ඇයි? බඳිනු ලබන්නට පමණක් නො ව යේසුස් ස්වාමින්වහන්සේගේ නාමය උදෙසා යෙරුසලමේදී මැරෙන්නට වුවත් මම සූදානම්” යැයි කීවේ ය. 14කෙසේවත් ඔහු කැමති කරවා ගත නො හැකි වූයෙන්, අදහස අතැර දැමූ අපි, “ස්වාමින්වහන්සේ කැමති ලෙස සිදු වේවා!” යි කීවෙමු.
15ඉන්පසු අපි ගමනට සූදානම් වී, යෙරුසලම බලා ගමන් ගතිමු. 16කායිසාරියේ ගෝලයින් කීප දෙනෙක් අප සමඟ අවුත්, අප නවාතැන් ගත යුතු ව තිබූ මිනාසොන්ගේ නිවස වෙත අප කැඳවාගෙන ගියහ. සයිප්‍රස් ජාතිකයකු වූ ඔහු මුල් ගෝලයන්ගෙන් කෙනෙකි.
යෙරුසලමේ සභා-මූලික හමුව
17අප යෙරුසලම වෙත පැමිණි කල, සහෝදරයින් අප පිළිගත්තේ මහත් උණුසුම් අයුරිනි. 18ඉන්පසු දා පාවුල් සමඟ අපි යාකොබ් දැකීමට ගියෙමු. සියලු සභා-මූලිකයෝ ද එහි වූහ. 19පාවුල් ඔවුන්ට ආචාර කර ඔවුන් අමතමින්, තම සේවය මගින් දෙවියන්වහන්සේ අන්‍ය-ජාතීන් අතරේ කරන ලද දෑ විස්තර සහිත ව දැන්වී ය.
20ඔවුහු ඒ අසා, දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ. ඉන්පසු පාවුල් ඇමතූ ඔවුහු, “සහෝදරය, කොපමණ දහස් ගණනක් යුදෙව් ජාතිකයින් අදහාගෙන ඇත්දැයි ඔබට පෙනේ. ඔවුන් සැවොම ව්‍යවස්ථාව ගැන උද්යෝගයෙන් සිටින අයයි. 21ඔවුන්ට දැනගැනීමට ලැබී ඇත්තේ, අන්‍ය-ජාතීන් අතර වෙසෙන සියලු යුදෙව්වරුන්ට ඔවුන්ගේ දරුවන් චර්මඡේද කළ යුතු නැතැයි ද අපේ චාරිත්‍ර පිළිපැදිය යුතු නැතැයි ද කියමින් මෝසෙස්ගේ නීතියෙන් ඉවත හැරෙන ලෙස ඔබ ඔවුන්ට උගන්වන බවයි. 22ඉතින් අප මොකද කරන්නේ? ඔබ මෙහි ඇවිත් සිටින වග නිසැකයෙන් ම ඔවුන් දැන ගනීවි. 23එනිසා අප කියන දේ කරන්න; බාරයක් වූ මිනිස්සු හතර දෙනෙක් අප සමඟ ඉන්නවා. 24මොවුන් කැටිව ගොස්, ඔවුන්ගේ පවිත්‍ර වීමේ පිළිවෙතට සම්බන්ධ වී, එහි වියදම් ඔබ ම දරන්න. එවිට හිස මුඩු කර ගන්නට ඔවුන්ට හැකියි. ඔබ ගැන වූ ආරංචිවල සත්‍යයක් නැති බවත්, ඔබ ව්‍යවස්ථාවට යටත් ව ජීවත් වන බවත් සැවොම දැන ගනීවි. 25අන්‍ය-ජාතික ඇදහිලිවතුන් සම්බන්ධයෙන් නම්, පිළිමවලට පිදූ ආහාරවලින් ද ලෙයින් ද ගෙල මිරිකා මැරූ සතුන්ගේ මසින් ද ලිංගික අනාචාරයෙන් ද ඔවුන් වැළකී සිටිය යුතු බවට අප කළ තීරණය, අප ඔවුන්ට ලියා යවා ඇතැ” යි කීහ.
26පසු දින පාවුල් ඒ මිනිසුන් කැටිව ගොස්, ඔවුන් සමඟ තමා ද පවිත්‍ර කර ගත්තේ ය. ඉන්පසු පවිත්‍ර වීම සම්පූර්ණ වන දිනයත්, ඔවුන් එකිනෙකා ඔප්පු කළ යුතු පුද පූජාත් ගැන දැනුම් දෙන පිණිස, ඔහු දේව මාලිගයට ගියේ ය.
පාවුල් අත්අඩංගුවට ගනු ලැබීම
27හත් දවස සම්පූර්ණ වෙමින් තිබියදී, ආසියා කලාපයෙන් පැමිණි යුදෙව්වරුන්ගෙන් ඇතමෙක් පාවුල් දේව මාලිගයේ සිටිනු දුටුවහ. එකල ඔවුහු මුළු ජන සමූහයා කලඹවාගෙන අවුත්, ඔහු අල්ලාගෙන, 28කෑ-කෝ ගසමින්, “ඉශ්‍රායෙල් ජනයිනි, අපට උදවු කරපල්ලා! අප ජනයාටත්, ව්‍යවස්ථාවටත්, මේ ස්ථානයටත් විරුද්ධ ව හැම තැනක ම හැම දෙනාට උගන්වන මිනිහා මොහුයි. එපමණක් නො වෙයි. ග්‍රීක ජාතිකයන් ද මේ දේව මාලිගයට කැඳවාගෙන අවුත් මේ සිද්ධස්ථානයත් දූෂ්‍ය කර ඇතැ” යි කීහ. 29(එසේ කීවේ එපීසයකු වූ ත්‍රොපිමස් පාවුල් සමඟ නගරයේ සිටිනු ඔවුන් දුටු නිසා, පාවුල් දේව මාලිගයට ඔහු කැඳවා ගෙනෙන්නට ඇතැයි සිතූ බැවිනි.)
30මෙයින් මුළු නගරය ම ඇවිස්සිණි. සැමතින් ම දුව ආ ජනයා, පාවුල් අල්ලා, දේව මාලිගයෙන් පිටතට ඔහු ඇද දැමූහ. දොරටු ද එකෙණෙහි ම වසනු ලැබී ය. 31පාවුල් මරා දමන්නට ඔවුන් අර අදිද්දී, මුළු යෙරුසලම් නගරය ම කැලඹී ඇතැයි නගරයේ රෝම සෙන්පතිට සැල විණි. 32නිලධාරීන් ද භට පිරිසක් ද ගෙන, ඔහු ජන සමූහයා වෙත වහා දිව්වේ ය. සෙන්පති හා ඔහුගේ භට පිරිස දුටු කලබලකරුවෝ පාවුල්ට පහර දීම නැවතූහ.
33පාවුල් වෙත ආ සෙන්පති පළමු කොට ඔහු අත්අඩංගුවට ගෙන, යදම් දෙකකින් ම ඔහු බඳින්නට අණ දුන්නේ ය. පාවුල් කවරෙක් ද, ඔහු කළ වරද කිමෙක්දැයි ඔහු ඇසුවේ ඉන්පසුව ය. 34පිරිසෙන් ඇතමෙක් එකක් ද අන් සමහරෙක් තවෙකක් ද කියමින් කෑ-කෝ ගැසූහ. ඝෝෂාව නිසා සත්‍යය කුමක් දැයි දැනගන්නට සෙන්පතිට නො හැකි වූයෙන්, පාවුල් හමුදා කඳවුර වෙත ගෙන යන ලෙස ඔහු නියෝග කළේ ය. 35පාවුල් එහි වූ පඩි පෙළට ළං වූ කල, කලහකාරී පිරිස කෙතරම් සැහැසි වූවෝ ද යත් පාවුල් ඔසවාගෙන යෑමට හමුදා භටයින්ට සිදු විණි. 36සෙනඟ ද ඒ පසු පස්සේ ම යමින්, “ඔහු නැති කර දමව්” කියමින් කෑ ගසන්නට වන්හ.
පාවුල් කළ කතාව
37හේවායින් කඳවුර තුළට තමා ගෙන යෑමට සැරසෙද්දී, සෙන්පති ඇමතූ පාවුල්, “ඔබට වචනයක් කියන්න අවසර දැ?” යි ඇසී ය.
එවිට සෙන්පති, “හෝ! ඔබ ග්‍රීක් බස දන්නවා ද? 38කලකට පෙර කැරැල්ලක් සංවිධාන කර මිනී මරුවන් හාරදහසක් ගෙන පාළුකරයට වැදුණු ඊජිප්තුවා ඔබ නො වේ දැ?” යි ඇසී ය.
39පාවුල් පිළිතුරු දෙමින්, “මා යුදෙව්වරයෙක්, සිලිසියාවේ කීර්තිමත් නගරයක් වන තාර්සස්හි පුරවැසියෙක්. ජනතාව අමතන්නට මට ඉඩ දෙන්නැ” යි කීවේ ය.
40සෙන්පති තැන ඊට අවසර දුන් කල, පඩි පෙළ මත සිටගත් පාවුල් නිසල වන ලෙස ජනයාට සංඥා කළේ ය. ඔවුන් සැම නිසල වූ කල පාවුල් හෙබ්‍රෙව් බසින් ඔවුන් අමතන්නට වන්නේ ය.
Nke Ahọpụtara Ugbu A:
ක්‍රියා 21: SCV
Mee ka ọ bụrụ isi
Mapịa
Lee anya n'etiti ihe abụọ
Kesaa
Ịchọrọ ka echekwaara gị ihe ndị gasị ị mere ka ha pụta ìhè ná ngwaọrụ gị niile? Debanye aha gị ma ọ bụ mee mbanye
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.