යොහන් 19
19
කුරුසිපත් කිරීමේ තීන්දුව
1එවිට පිලාත්, යේසුස්වහන්සේට කසයෙන් තැලෙව්වේ ය. 2හේවායෝ කටු ඔටුන්නක් ගොතා, උන්වහන්සේගේ හිස මත තබා, දම් පැහැති ලෝගුවක් හඳවා, 3“යුදෙව් රජු දිනේවා!” යි කියමින්, උන්වහන්සේ වෙත පැමිණ, අත්වලින් උන්වහන්සේට පහර දුන්හ.
4යළි පිටතට පැමිණි පිලාත් යුදෙව්වන් අමතා, “මෙන්න, මොහු අත කිසි වරදක් මට නො පෙනෙන වග නුඹලා දැනගන්න පිණිස, මා දැන් ඔහු පිටතට ගෙනෙනවා” යි කීවේ ය. 5එවිට කටු ඔටුන්න හා දම් පැහැ ලෝගුව සහිත ව පිටතට ආ යේසුස්වහන්සේ පෙන් වූ පිලාත්, “මෙන්න, ඒ මනුෂ්‍යයා!” යි කීවේ ය.
6නායක පූජකයෝ හා ඔවුන්ගේ භටයෝ උන්වහන්සේ දුටු ඇසිල්ලේ, “ඔහු කුරුසියේ ඇණ ගසනු! කුරුසියේ ඇණ ගසනු!” යි කෑ ගැසූහ.
පිලාත් ඔවුන් අමතා, “නුඹලා ම ඔහු ගෙන ගොස්, ඇණ ගසාපල්ලා. මොකද, ඔහු තුළ කිසි වරදක් මට හමු වුණේ නැතැ” යි කීවේ ය.
7යුදෙව්වරු ඔහුට පිළිතුරු දෙමින්, “අපටත් නීතියක් තියෙනවා. ඒ නීතියේ හැටියට මොහු මරා දැමිය යුතුයි; මොකද, ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයා යයි කියා ගත්තා යැ” යි කීවෝ ය.
8ඒ කියමන ඇසූ කල, පිලාත් වඩාත් බයට පත් විය. 9ඔහු යළිත් තම මැදුර තුළට පිවිස, යේසුස්වහන්සේ අමතා, “ඔබ කොහෙන් පැමිණියේ දැ?” යි ඇසී ය. එහෙත් යේසුස්වහන්සේ ඔහුට උත්තර නො දුන් සේක. 10පිලාත් උන්වහන්සේ අමතමින්, “මට ඔබ උත්තර දෙන්නේ නැද්ද? ඔබ නිදහස් කරන්නටත්, කුරුසිපත් කරන්නටත් මට බලය තිබෙන බව දන්නේ නැද්දැ?” යි ඇසී ය.
11යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඉහළින් ඔබට අනුමැතිය දුන්නොත් මිස, මා කෙරේ ඔබට කිසි බලයක් නැත. එබැවින් ඔබ අතට මා පාවා දුන් තැනැත්තාගේ පාපය වඩාත් බරපතළ යැ” යි කී සේක.
12එතැන් පටන් පිලාත් උන්වහන්සේ නිදහස් කරන්නට සෙවී ය. එහෙත් යුදෙව්වරු කෑ මොර ගසමින්, “ඔබ මේ මිනිහා නිදහස් කළොත්, ඔබ සීසර්ගේ මිත්‍රයෙක් නො වේ. තමන් රජෙකැයි කියා ගන්නා හැම කෙනෙක් ම සීසර්ට විරුද්ධ යැ” යි කීහ.
13ඒ වචන ඇසූ පිලාත්, යේසුස්වහන්සේ පිටතට ගෙනැවිත්, (හෙබ්‍රෙව් බසින් ගබ්බතා නම් වූ) ගල් වේදිකාව නම් ස්ථානයේ වූ විනිශ්චය ආසනයේ හිඳ ගත්තේ ය. 14ඒ, පාස්කුවට පෙර සූදානම් වීමේ දවසේ මද්දහන වූ හය වන පැයයි.
පිලාත් යුදෙව්වන් අමතා, “මෙන්න! ඔබේ රජ්ජුරුවෝ” යි කීවේ ය.
15“ඔහු මරා දමනු! මරා දමනු! ඔහු කුරුසියේ ඇණ ගසනු!” යි ඔවුහු මොර ගැසූහ.
එවිට පිලාත්, “ඔබේ රජ කුරුසියේ ඇණ ගසන්න දැ!” යි ඔවුන්ගෙන් ඇසී ය.
නායක පූජකයෝ පිළිතුරු දෙමින්, “සීසර් හැර වෙනත් රජෙක් අපට නැතැ” යි කීහ.
16එබැවින් ඔහු කුරුසියේ ඇණ ගසනු ලබන පිණිස ඔවුන් අතට උන්වහන්සේ බාර දුන්නේ ය.
යේසුස්වහන්සේ කුරුසිපත් කරනු ලැබීම
ඔවුහු යේසුස්වහන්සේ බාර ගත්හ. 17උන්වහන්සේ තම කුරුසිය උසුලාගෙන, හෙබ්‍රෙව් බසින් ගොල්ගොතා නමින් හැඳින්වෙන හිස්කබල නම් ස්ථානය වෙත ගිය සේක. 18එහිදී ඔවුහු උන්වහන්සේ කුරුසියේ ඇණ ගැසූහ. උන්වහන්සේ මැදි ව සිටින සේ තවත් දෙදෙනකු යේසුස්වහන්සේ දෙපසින් ඇණ ගැසුම් ලදහ.
19පිලාත් නාම පුවරුවක් ලියවා, එය කුරුසිය මත තැබී ය. එය මෙසේ ය:
නාසරෙත්හි යේසුස්, යුදෙව්වන්ගේ රජු.
20යේසුස්වහන්සේ කුරුසිපත් කරන ලද ස්ථානය නගරාසන්නයේ වූ බැවින් හා එය හෙබ්‍රෙව්, ලතින් හා ග්‍රීක් යන තෙබසින් ම ලියා තිබූ බැවින් එම නාම පුවරුව යුදෙව්වරුන් බොහෝ දෙනෙක් කියවූහ. 21එබැවින් යුදෙව්වරුන්ගේ නායක පූජකයෝ පිලාත් අමතා, “යුදෙව්වන්ගේ රජු ය යනුවෙන් නො ලියා, ‘යුදෙව් රජ මම ය කියා මේ මිනිසා කියා ගත්තේ ය’ යනුවෙන් ලියන්නැ” යි ඉල්ලූහ.
22පිලාත් ඊට පිළිතුරු දෙමින්, “මා ලියූ දේ ලියුවාම යැ” යි කීවේ ය.
23යේසුස්වහන්සේ කුරුසියේ ඇණ ගැසූ පසු හේවායෝ, උන්වහන්සේගේ පිට ඇඳුම් ගෙන, එක් කෙනකුට කොටසක් වශයෙන් සතර කොටසකට බෙදා ගත්හ. ඔවුහු උන්වහන්සේගේ කබාය ද ගත්හ. එම කබාය ඉහළ සිට පහළට මුළුමනින් එක ම කඩක් ව වියන ලද්දකි.
24එබැවින් ඔවුහු එකිනෙකා අමතමින්, “අපි මෙය ඉරන්නේ නැතිව කාට එය වැටේදැයි බලන්න පස ඇට දමමු” යි කීහ.
එසේ වූයේ,
“ඔවුහු මගේ ඇඳුම් තමන් අතරේ බෙදාගෙන,
මගේ වස්ත්‍ර සඳහා පස ඇට දැමූහ#19:24 ගීතා 22;18” යි
ලියවුණු ශුද්ධ ලියවිල්ල ඉෂ්ට වන පිණිස ය. හමුදා භටයන් කළේ ද එය ම ය.
25යේසුස්වහන්සේගේ මෑණියෝ, උන්වහන්සේගේ මෑණියන්ගේ සහෝදරිය, ක්ලෝපාස්ගේ භාර්යාව වූ මරියා හා මග්දලාහි මරියා යේසුස්වහන්සේගේ කුරුසිය ළඟ සිටගෙන වුන්හ. 26තම මෑණියන් ද තමන් ප්‍රේම කළ ගෝලයා ද තමන් අසල සිටිනු දුටු යේසුස්වහන්සේ මෑණියන් අමතා, “ස්ත්‍රිය, මෙන්න ඔබේ පුත්‍රයා යැ” යි පවසා, 27එම ගෝලයා දෙසට හැරී, “මෙන්න ඔබේ මෑණියන්” යි කී සේක. ඒ පැයේ පටන් එම ගෝලයා තම නිවසට ඇය පිළිගත්තේ ය.
යේසුස්වහන්සේගේ මරණය
28පසුව, යේසුස්වහන්සේ දැන් සියල්ල සම්පූර්ණ ව ඇති බැව් දැන, ශුද්ධ ලියවිල්ල ඉටු වන පිණිස, “මට පිපාසයි” කී සේක. 29මිදි යුෂ-විනාකිරි පිර වූ බඳුනක් එහි තිබිණි. එබැවින් ඔවුහු මූදු හත්තක් එහි පොඟවා, හිසොප් දණ්ඩක එය අමුණා, උන්වහන්සේගේ මුවට ළං කළහ. 30යේසුස්වහන්සේ එය දිව ගෑ පසු, “එය නිම වියැ” යි පවසමින් හිස පහත හෙළා, තම ආත්මය අත් හළ සේක.
31එය සූදානම් වීමේ දවස බැවින්, සබතේදී මළ-සිරුරු කුරුසවල නො තිබෙන පිණිස, ඔවුන්ගේ කකුල් කඩා, ඔවුන් ඉවත් කරවන ලෙස යුදෙව්වරු පිලාත්ගෙන් ඉල්ලා සිටියහ. මන්ද ඒ දවස විශේෂ සබතක් විය. 32එබැවින් හේවායෝ පැමිණ, යේසුස්වහන්සේ සමඟ ඇණ ගසන ලද පළමුවැන්නාගේ ද අනතුරුව අනෙකාගේ ද කකුල් කැඩූහ. 33එහෙත් ඔවුහු යේසුස්වහන්සේ වෙත ආ කල, උන්වහන්සේ ඒ වන විටත් මිය ගොස් සිටි වග දැක, උන්වහන්සේගේ කකුල් නො කැඩූහ. 34එසේ වුවත් හේවායින්ගෙන් කෙනෙක් හෙල්ලයකින් උන්වහන්සේගේ ඇලයට ඇන්නේ ය. එසැණේ ම ලේත්, වතුරත් එතැනින් ගලා ආවේ ය. 35එය දුටු තැනැත්තා ඒ ගැන සාක්ෂි දරයි. ඒ සාක්ෂිය සත්‍යය ය. තමා පවසන්නේ සත්‍යය බව ඔහු දනී. එබැවින් ඔබත් විශ්වාස කරන පිණිස ඔහු සාක්ෂි දරයි. 36මේ දේවල් සිදු වූයේ, “උන්වහන්සේගේ එක ඇටයකුදු බිඳිනු නො ලැබේ”#19:36 නික්ම 12:46; ගණන් 9;12; ගීතා 34;20 යන ශුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වන පිණිස ය. 37තවද, “ඔවුන් ඇන, සිදුරු කළ තැනැත්තා දෙස ඔවුන් බලනු ඇතැ”#19:37 සෙකරි 12;10 යි තවත් ශුද්ධ ලියවිලි පාඨයකින් කියැවේ.
තැන්පත් කරනු ලැබීම
38යුදෙව්වරුන්ට වූ බය නිසා රහසේ යේසුස්වහන්සේගේ ගෝලයකු ව සිටි අරමාතියේ යෝසෙප් මේ දේවලට පසු, පිලාත් වෙත ගොස්, යේසුස්වහන්සේගේ දේහය ගෙන යන්නට අවසර ඉල්ලී ය. පිලාත් ඊට අවසර දුන්නෙන්, ඔහු පැමිණ උන්වහන්සේගේ දේහය ගෙන ගියේ ය. 39ඉහත එක් රැයක යේසුස්වහන්සේ වෙත පැමිණි නිකදේමුස් ද සුවඳ ද්‍රව්‍ය හා අගිල් මිශ්‍රණය ලිත්‍රා සියයක්#19:39 එනම් කිලෝග්‍රෑම් 30ක් පමණ පමණ රැගෙන ආයේ ය. 40ඔවුහු යුදෙව්වරුන්ගේ භූමදාන චාරිත්‍ර ලෙස සුවඳ ද්‍රව්‍ය සමඟ සිහින් හණ රෙදිවලින් යේසුස්වහන්සේගේ දේහය ඔතා සූදානම් කළහ. 41යේසුස්වහන්සේ කුරුසිපත් කළ ස්ථානය අසල උයනක් තිබිණි. ඒ උයනේ එතෙක් කිසිවකු තැන්පත් නො කරන ලද අලුත් සොහොන් ලෙනක් තිබිණි. 42එය යුදෙව්වරුන්ගේ සූදානම් වීමේ දවස බැවින් ද සොහොන් ගෙය අත නුදුරින් ම වූ බැවින් ද ඔවුහු යේසුස්වහන්සේ එහි තැන්පත් කළහ.
Nke Ahọpụtara Ugbu A:
යොහන් 19: SCV
Mee ka ọ bụrụ isi
Mapịa
Lee anya n'etiti ihe abụọ
Kesaa
Ịchọrọ ka echekwaara gị ihe ndị gasị ị mere ka ha pụta ìhè ná ngwaọrụ gị niile? Debanye aha gị ma ọ bụ mee mbanye
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.