මතෙව් 10
10
දොළොස් දෙනා සේවයට යැවීම
1උන්වහන්සේ තම ගෝලයින් දොළොස් දෙනා තමන් වෙත කැඳවා, අපවිත්‍ර ආත්ම දුරු කිරීමටත්, සියලු රෝග හා සියලු ආබාධ සුව කිරීමටත් ඔවුනට බලය පැවරූ සේක.
2අපෝස්තුලුවරු දොළොස් දෙනාගේ නාම මෙසේ ය:
පළමුවෙන්, පේතෘස් නමින් හැඳින්වුණු සීමොන් හා ඔහුගේ සහෝදර අන්දෘ;
සෙබදීගේ පුත්‍ර යාකොබ් හා ඔහුගේ සහෝදර යොහන්;
3පිලිප් හා බර්තොලමෙව්;
තෝමස් හා බදු අය කරන්නා වූ මතෙව්;
අල්පෙවුස්ගේ පුත්‍ර යාකොබ් හා තද්දෙවුස්;
4ජ්වලිතයා#10:4 එවකට තිබූ අන්තවාදී සංවිධානයක සාමාජිකයෙක් යන අරුත ද තිබිය හැක. යයි නම් ලත් සීමොන් හා උන්වහන්සේ පාවා දුන් යූදස් ඉස්කාරියොත් ය.
5යේසුස්වහන්සේ එම දොළොස් දෙනාට මෙසේ උපදෙස් දෙමින්, ඔවුන් පිටත් කර හැරිය සේක: “අන්‍ය-ජාතීන් අතර කිසි තැනකට හෝ සමාරියයන්ගේ කිසි නගරයකට ඇතුළු නො වී, 6ඉශ්‍රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙතට ම යන්න. 7ගොසින්, ‘ස්වර්ග රාජ්‍යය ළං වී ඇත’ කියා ප්‍රකාශ කරන්න. 8රෝගීන් සුව කරන්න; මළවුන් නැගිටුවන්න. කුෂ්ඨ රෝගීන් පවිත්‍ර කරන්න; යක්ෂාත්මයින් දුරු කරන්න. ඔබ ලද්දේ නොමිලයේයි; නොමිලේ ම දෙන්න.
9“රන්, රිදී, තඹ යන කිසිවක් ඔබේ ඉඟ පටියේ නො ගෙන යන්න. 10ගමනට, ගමන් මල්ලක්, අමතර ඇඳුමක්, පාවහන් හෝ සැරයටියක් යන කිසිවක් නො ගෙන යන්න. මන්ද සේවකයා ඔහුගේ භෝජනය ලබන්නට සුදුසු ය. 11ඔබ යම් නගරයකට හෝ ගමකට හෝ ඇතුළු වන කල, සුදුසු කෙනකු සොයා බලා, එපෙදෙසින් නික්ම යන තෙක් එහිම නවාතැන් ගන්න. 12ඔබ ඒ නිවසට ඇතුළු වන කල, ඊට සුබ පතන්න. 13ඒ නිවස ඊට සුදුසු නම්, ඔබගේ සාමය එහි පවතීවා; එහෙත් එය ඊට නුසුදුසු නම්, ඔබගේ සාමය ආපසු ඔබ වෙත ඒවා. 14කිසි කෙනකු නො පිළිගැනේ නම් හෝ ඔබගේ වචනවලට සවන් නො දේ නම්, ඔබ ඒ නගරයෙන් හෝ ඒ නිවසින් පිටත් ව යන කල, ඔබේ පා දූලි ගසා දමා යන්න. 15සැබවින් ම මා ඔබට කියන්නේ, විනිශ්චය දවසේදී ඒ නගරයට වඩා, සොදොම් හා ගොමොරා දේශයට දැරිය හැකි වන බවයි.
16“මෙන්න! මා දැන් ඔබ පිටත් කර යවන්නේ, වෘකයින් මැදට බැටළුවන් ලෙසයි. එබැවින් සර්පයින් මෙන් විචක්ෂණ ව, පරෙවියන් මෙන් අහිංසක ව සිටින්න. 17මිනිසුන්ගෙන් පරෙස්සම් වන්න; ඔවුන් උසාවිවලට ඔබ අල්ලා දී, ඔවුන්ගේ සිනගෝගවලදී ඔබට කස පහර දෙනු ඇත. 18මා නිසා ආණ්ඩුකාරයින් හා රජුන් ඉදිරියට ඔබ ඇදගෙන යනු ඇත. ඒ, ඔවුන්ටත්, විජාතිකයින්ටත් සාක්ෂි දරන පිණිසයි. 19එහෙත් ඔවුන් ඔබ පාවා දුන් කල, කිව යුත්තේ කෙසේ ද, කිව යුත්තේ කුමක් ද යන්න ගැන කනස්සලු නො වන්න. ඔබ කිව යුතු දෑ ඒ පැයේදී ඔබට දෙනු ලැබේ. 20මන්ද එවිට කතා කරන්නේ ඔබ නො වේ; ඔබගේ පියාණන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඔබ තුළින් කතා කරන සේක.
21“සහෝදරයා තම සහෝදරයා ද පියා තම දරුවා ද මරණයට පාවා දෙනු ඇත; දරුවන් තම දෙමවුපියනට එරෙහිව නැගිට, ඔවුන් මරණයට පත් කරනු ඇත. 22සැවොම මගේ නාමය නිසා ඔබට වෛර කරනු ඇත. එහෙත් අවසානය දක්වා නො සැලී ස්ථිර ව සිටින්නා, ගලවනු ලබනු ඇත. 23එක් නගරයකදී ඔබට පීඩා කරන කල, වෙනත් එකකට පලා යන්න. මනුෂ්‍ය පුත්‍රයාණන් එන්නට පෙර ඉශ්‍රායෙල් නගර සියල්ලෙහි සැරිසරා නිම කරන්නට ඔබට නො ලැබෙන බව සැබවින් ම මම ඔබට කියමි.
24“ගෝලයෙක් තම ගුරුවරයාට වඩා උසස් නැත; සේවකයෙක් තම ස්වාමියාට වඩා උසස් නැත. 25තම ගුරුවරයා හා සමාන වීම ගෝලයාටත්, තම ස්වාමියා හා සමාන වීම සේවකයාටත් සෑහෙයි. ගෘහ මූලිකයා බෙල්සෙබුල් යයි කියන ලද්දේ නම්, ඔහුගේ ගෘහ වාසීහු ඊට කොපමණ වැඩියෙන් අපහාස නො ලබත් ද?
26“එබැවින් ඔවුනට බිය නො වන්න. එළිදරවු නො වන සේ සඟවන ලද කිසිවක් නැත. දැනගනු නො ලබන සේ වසන් කරන ලද කිසිවක් ද නැත. 27අඳුරේ මා ඔබට කියන දෑ, ආලෝකයේදී පවසන්න. ඔබේ කනට කොඳුරා කී දෑ, ගෙපියසි උඩදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න. 28ශරීරය නසා දමන නමුදු, ජීවාත්මය නැසිය නො හැකි අයට භය නො වන්න. එහෙත් සිරුරත්, ජීවාත්මයත් නිරයේ විනාශ කළ හැකි තැනැන්වහන්සේට භය වන්න. 29ගේ කුරුල්ලන් දෙදෙනකු තුට්ටුවකට විකුණනවා නො වේ ද? එහෙත් උන්ගෙන් එකකුවත් ඔබේ පියාණන්වහන්සේ නො දැන බිම වැටෙන්නේ නැත. 30ඔබගේ හැම හිස කෙසක් පවා ගණන් කොට ඇත. 31එබැවින් බය නො වන්න! ගේ කුරුල්ලන් රාශියකටත් වඩා ඔබ වටී.
32“මිනිසුන් ඉදිරියේ මා පිළිගන්නා හැම කෙනකු ම ස්වර්ගයේ සිටින මගේ පියාණන්වහන්සේ ඉදිරියේ මමත් පිළිගනිමි. 33එහෙත් මිනිසුන් ඉදිරියේ මා ප්‍රතික්ෂේප කරන කවරකු වුවත් ස්වර්ගයේ සිටින මගේ පියාණන්වහන්සේ ඉදිරියේ මමත් ප්‍රතික්ෂේප කරමි.
34“පොළොව පිටට සාමය ගෙනෙන්නට මා ආවා යයි නො සිතන්න. මා ආවේ කඩුවක් මිස සාමය ගෙනෙන්නට නො වේ; 35මන්ද මා ආවේ,
“ ‘මිනිසකු තම පියාට එරෙහිව ද,
දුවක ඇගේ ම මවට එරෙහිව ද,
ලේලියක ඇගේ නැන්දණියට එරෙහිව ද හරවන්නටයි.
36මිනිසකුගේ එදිරිවාදීන් වන්නේ තමන්ගේ ම නිවැසියන් ය.’#10:36 මීකා 7;6
37“තම පියාට හෝ මවට හෝ මට වඩා ප්‍රේම කරන කවුරුන් වුවත්, මට සුදුසු නො වේ; තම පුත්‍රයාට හෝ දියණියට හෝ මට වඩා ප්‍රේම කරන කවුරුන් වුවත්, මට සුදුසු නො වේ. 38තමාගේ කුරුසිය ගෙන, මා අනුව නො එන කවුරුන් වුවත්, මට සුදුසු නො වේ. 39තම ජීවිතය රැක ගන්නට සොයන්නා, එය අහිමි කර ගනී; මා නිසා තම ජීවිතය අහිමි කරගන්නාට එය සම්භ වේ.
40“ඔබ පිළිගන්නා මා පිළිගනියි. මා පිළිගන්නා මා එවූ තැනැන්වහන්සේ පිළිගනියි. 41දිවැසිවරයකු, දිවැසිවරයකු නිසා පිළිගන්නා, දිවැසිවරයකුගේ ඉටු විපාක ලබයි. ධර්මිෂ්ඨයකු, ධර්මිෂ්ඨයකු නිසා පිළිගන්නා, ධර්මිෂ්ඨයකුගේ ඉටු විපාක ලබයි. 42මගේ ගෝලයකු නිසා ම මොවුන්ගෙන් ඉතා සුළු කෙනකුට වුව, ඇල් වතුර කෝප්පයක් දෙන කෙනකු නිසැකයෙන් ම එහි පල විපාක ඔහුට නැති නො වන බව සැබවින් ම මම ඔබට කියමි.”
Nke Ahọpụtara Ugbu A:
මතෙව් 10: SCV
Mee ka ọ bụrụ isi
Mapịa
Lee anya n'etiti ihe abụọ
Kesaa
Ịchọrọ ka echekwaara gị ihe ndị gasị ị mere ka ha pụta ìhè ná ngwaọrụ gị niile? Debanye aha gị ma ọ bụ mee mbanye
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.