මතෙව් 13
13
වපුරන්නාගේ උපමා කතාව
1ඒ දවසේ ම යේසුස්වහන්සේ නිවසින් පිටත් ව, මුහුද අද්දර හිඳගත් සේක. 2විශාල ජනකායක් උන්වහන්සේ වටා රොක්වූයෙන් උන්වහන්සේ ඔරුවකට නැග, එහි හිඳගත් සේක. මුළු ජනකාය ම වෙරළේ සිටගෙන වුන්හ. 3උන්වහන්සේ මෙසේ කියමින් ඔවුන්ට උපමා මගින් බොහෝ දෑ පවසන්නට වන් සේක: “වපුරන්නෙක් බීජ වපුරන්නට පිටත් ව ගියේ ය. 4ඔහු බීජ ඉසිද්දී ඉන් සමහරක් මග දිගේ වැටිණි. කුරුල්ලෝ ඇවිත් ඒවා කා දැමූහ. 5සමහරක්, එතරම් පස් නො තිබූ ගල් බිමේ වැටිණි. පස් නො ගැඹුරු බැවින් ඒවා ඉක්මනින් පැළවිණි. 6එහෙත් හිරු නැගුණ කල ඒවා කරවී, මුල් නොමැතිකමින් වියළී ගියේ ය. 7අන් බීජ කටු පඳුරු අතරේ වැටුණි. කටු පැළ වැවී ඒවා යට කර දැමී ය. 8සෙසු බීජ සරු බිමෙහි වැටී, සිය ගුණයක්, හැට ගුණයක් හා තිස් ගුණයක් යන වශයෙන් අස්වැන්න ඉපද වී ය. 9කන් ඇත්තා අසත්වා!”
10එවිට ගෝලයෝ උන්වහන්සේ වෙත අවුත්, “ඔබ ජනයාට උපමා මගින් කතා කරන්නේ මන්දැ?” යි ඇසූහ.
11උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ස්වර්ග රාජ්‍යයේ රහස් දැනගැනීමට ඔබට වර දී තිබේ; එහෙත් ඔවුනට දී නැත. 12ඇති තැනැත්තාට වඩ වඩා දෙනු ලැබේ; ඔහුට අධික ව ලැබේ. නැති තැනැත්තාගෙන් ඔහුට ඇති දේත් ගනු ලැබේ. 13මා ඔවුනට උපමාවලින් කතා කරන්නේ එබැවිනි. මන්ද:
“පෙනි-පෙනීත් ඔවුන් දකින්නේ නැත;
ඇසි-ඇසීත් ඔවුන් අසන්නේ නැත; ඔවුන් වටහා ගන්නේ ද නැත.
14ඔවුන් ගැන යෙසායාගේ මෙම අනාවැකිය ඉටු වෙයි:
“ ‘නිරතුරු ඔබ අසන නමුදු කිසි විටෙක වටහා ගන්නේ නැත;
නිරතුරු ඔබ දකින නමුදු කිසි විටෙක තේරුම් ගන්නේ නැත.
15මන්ද මේ ජනයාගේ හදවත් දැඩි වී ඇත;
තම කන්වලින් ඔවුන් අසන්නේ නැති තරම් ය;
තම ඇස් ඔවුන් වසාගෙන ඇත.
එසේ නො විණි නම්, ඔවුන් තම ඇස්වලින් බලා,
තම කන්වලින් අසා,
තම හදවත්වලින් තේරුම් ගෙන,
මා වෙත හැරෙන්නට තිබිණි. මා ද ඔවුන් සුව කරන්නට තිබිණි’#13:15 යෙසා 6:9,10
යන්නයි.
16එහෙත් ඔබගේ ඇස් භාග්‍යවත් ය. මන්ද ඒවාට පෙනේ. ඔබගේ කන් භාග්‍යවත් ය. මන්ද ඒවාට ඇසේ. 17සැබවින් ම මා ඔබට කියන්නම්; ඔබ දකින දේ දකින්නට දිවැසිවරු බොහෝ දෙනෙක් ද දමිටුන් බොහෝ දෙනෙක් ද මහත් සේ ආශා කළහ. එහෙත් ඔවුනට ඒවා දක්නට ලැබුණේ නැත. ඔබ අසන දේ අසන්නට ද ඔවුහු මහත් සේ ආශා කළහ. එහෙත් ඔවුනට ඒවා අසන්නට ලැබුණේ නැත.
18“දැන්, වපුරන්නාගේ උපමාවේ අරුතට සවන් දෙන්න: 19යමෙක් රාජ්‍යයේ ශුභාරංචි පණිවුඩය අසා, එය තේරුම් නො ගනී නම්, නපුරා අවුත්, ඔහුගේ හදෙහි වපුළ දේ ඩැහැ ගනී. මග දිගේ වපුළ බීජ නම් ඔහු ය. 20ගල් බිමේ වපුළ බීජ නම්, වචනය අසා, එක්වර ම එය සතුටින් පිළිගන්නා තැනැත්තා ය. 21එහෙත් ඔහු තුළ මුල් නැති බැවින්, එය පවතින්නේ සුළු කලකි. වචනය නිසා පීඩා හෝ විපත්ති පැමිණි විගස, ඔහු වැටී යයි. 22කටු අතරේ වැටුණු බීජ නම්, වචනයට සවන් යොමන නමුදු ලෝකයේ දුක් කරදර හා ධන සම්පත්හි මායාවෙන් වචනය යට කර දමන්නා ය. එය පල දරන්නේ නැත. 23සරු බිමෙහි වැටුණු බීජ වන්නේ වචනය අසා එය වටහා ගන්නා ය. ඔහු පල දරන්නේ ය. සිය ගුණයක්, හැට ගුණයක් හා තිස් ගුණයක් බැගින් පල දරන්නේ යැ” යි පැවසූ සේක.
කිරිඳි පිළිබඳ උපමාව
24යේසුස්වහන්සේ ඔවුනට තවත් උපමාවක් පැවසූ සේක: “ස්වර්ග රාජ්‍යය, තම කුඹුරේ හොඳ බීජ වපුළ මිනිසකුට සමාන ය. 25ඔහුගේ මිනිසුන් නිදා සිටින අතර, ඒ මිනිසාගේ සතුරා ඇවිත්, තිරිඟු අතරේ කිරිඳි වපුරා ගියේ ය. 26පැළ මතු වී කරල් හටගත් කල, කිරිඳි ද ඒ අතරේ පෙනෙන්නට විය.
27“එවිට ගෙහිමියා වෙත පැමිණි ඔහුගේ සේවකයෝ, ‘මහතාණනි, ඔබගේ කුඹුරේ ඔබ වපුළේ හොඳ තිරිඟු බීජ නො වේ ද? එසේ නම් මේ කිරිඳි පැළවී ඇත්තේ කෙසේ දැ?’ යි ඇසූහ.
28“ ‘මේක සතුරකුගේ වැඩකැ’ යි ඔහු ඔවුන්ට පැවසී ය.
“එවිට සේවකයෝ, ‘ඔබට ඕනෑ අප ගොස්, ඒවා උදුරා දමනවාට දැ?’ යි ඔහුගෙන් ඇසූහ.
29“ඔහු පිළිතුරු දෙමින්, ‘නැත, ඔබ කිරිඳි උදුරද්දී ඒ සමඟ තිරිඟු ද ඉදිරෙන්නට පුළුවන. 30අස්වනු කපන කාලය දක්වා දෙවගේ ම එකට වැඩෙන්නට හරින්න. අස්වනු කාලය ආවාම පළමු ව කිරිඳි එකතු කොට, පුලුස්සන පිණිස ඒවා මිටි බඳින්න; එහෙත් තිරිඟු මගේ ධාන්‍යාගාරයේ රැස් කරන්න කියා අස්වනු නෙළන්නන්ට මම කියන්නෙමියි’ ” පැවසී ය.
අබ ඇටය හා මුහුන් ගැන උපමාව
31උන්වහන්සේ ඔවුනට තවත් උපමාවක් පවසමින්, “ස්වර්ග රාජ්‍යය, මිනිසකු තම ගෙවත්තේ සිටුවන අබ ඇටයකට සමාන ය. 32සියලු බීජ අතරින් ඉතාම කුඩා බීජය අබ වුව ද එය පැළවී වැඩුණ කල, අහස් පක්ෂීන් එහි අතුවල ලගින තරමේ ගසක් බවට පත් ව, පැළෑටි අතර විශාලතම ගස වේ යැ” යි පැවසූ සේක.
33උන්වහන්සේ ඔවුනට තවත් උපමාවක් පවසමින්, “ස්වර්ග රාජ්‍යය, නැළි තුනක#13:33 එනම් කිලෝග්‍රෑම් 27ක් පමණ පිටි මුළුමනින් පිපෙන, ස්ත්‍රියක විසින් ඊට මුසු කරන ලද මුහුන්වලට සමාන යැ” යි පැවසූ සේක.
34යේසුස්වහන්සේ, ජනයාට මේ හැම දේ පැවසුවේ උපමා මගිනි; උපමාවකින් තොර ව උන්වහන්සේ ඔවුනට කිසිවක් ම පැවසුවේ නැත. 35මෙසේ වූයේ දිවැසිවරයා මගින් පැවසුණු දෑ ඉටු වන පිණිස ය:
“මම උපමාවලින් මගේ මුව විවර කරමි,
ලෝකයේ අත්තිවාරම් ලූ තැන් පටන් සැඟවී තිබූ දෑ පවසන්නෙමි.”#13:35 ගීතා 78;2
කිරිඳි උපමාවේ අරුත
36ඉන්පසු උන්වහන්සේ සමූහයාගෙන් වෙන් ව නිවසට ගිය සේක. උන්වහන්සේ වෙත පැමිණි උන්වහන්සේගේ ගෝලයෝ, “කුඹුරේ කිරිඳි උපමාව අපට පහදා දෙන්නැ” යි කීහ.
37උන්වහන්සේ පිළිතුරු දෙමින්, “හොඳ බීජ වපුළ තැනැත්තා මනුෂ්‍ය පුත්‍රයා ය. 38කුඹුර මේ ලෝකයයි. හොඳ බීජ රාජ්‍යයේ පුත්‍රයෝ ය. කිරිඳි නපුරාගේ පුත්‍රයෝයි. 39ඒවා වපුළ සතුරා, යක්ෂයායි. අස්වනු කාලය යුග අන්තයයි. අස්වනු නෙළන්නෝ දේව දූතයොයි.
40“කිරිඳි උදුරනු ලැබ, ගින්නෙහි දැවූ සේ ම, යුග අන්තයේදීත් සිදු වනු ඇත. 41මනුෂ්‍ය පුත්‍රයා තම දේව දූතයින් පිටත් කර යැවූ කල, ඔවුන් පවට හේතු වන හැම දේ හා නොපනත්කම් කරන සියල්ලන් උන්වහන්සේගේ රාජ්‍යයෙන් උදුරා, 42ගිනි ඇවිළෙන උදුනෙහි හෙළනු ඇත. එහිදී වැලපීමත්, දත්මිටි කෑමත් ඇති වෙයි. 43එකල ධර්මිෂ්ඨයින් ඔවුන්ගේ පියාණන්වහන්සේගේ රාජ්‍යයෙහි හිරු මෙන් බබළනු ඇත. කන් ඇත්තා අසත්වා!
නිදන් කෙත හා මුතු ඇටය ගැන උපමාව
44“ස්වර්ග රාජ්‍යය, කෙතක සඟවා තිබූ නිධානයකට සමාන ය. මිනිසකුට එය හමු වූ කල, ඔහු එය යළි සඟවා, සොම්නසින් පිටත් ව ගොස්, තමන් සතු හැම දේ විකුණා ඒ කෙත මිලට ගනී.
45“තවද ස්වර්ග රාජ්‍යය, අගනා මුතු සොයා යන වෙළෙන්දකුට සමාන ය. 46ඉතා අගනා මුතුවක් හමු වූ කල, ඔහු ගොස්, තමන් සතු හැම දේ විකුණා, එය මිල දී ගත්තේ ය.
දැල ගැන උපමාව
47“තවද ස්වර්ග රාජ්‍යය, මුහුදේ හෙළන ලදුව හැම වර්ගයක ම මසුන් හසු වූ දැලකට සමාන ය. 48එය පිරී ගිය කල, මිනිස්සු එය වෙරළට ඇද, පසෙකින් හිඳ, හොඳ මසුන් වට්ටිවලට තෝරා දමමින්, නරක එවුන් ඉවතට වීසි කළහ. 49යුග අන්තයේදී සිදු වන්නේ ද එයයි. දේව දූතයින් අවුත්, ධර්මිෂ්ඨයින් වෙතින් දුෂ්ටයින් වෙන් කොට, 50ගිනි ඇවිළෙන උදුනෙහි ඔවුන් හෙළනු ඇත. එහිදී වැලපීමත්, දත්මිටි කෑමත් ඇති වෙයි.
51“මේ සියල්ල ඔබ තේරුම් ගත්තා දැ?” යි ඇසූ සේක.
“එසේ යැ” යි ඔවුහු පිළිතුරු දුන්හ.
52“එබැවින් ස්වර්ග රාජ්‍යය ගැන ගෝලයකු බවට පත් වන දහම් පඬිවර හැම කෙනකු ම තම වස්තු ගබඩාවෙන් පැරණි දෑ මෙන් ම අලුත් දෑ පිටතට ගෙනෙන ගෘහ මූලිකයකුට සමාන යැ” යි පැවසූ සේක.
ගරු නො ලබන දිවැසිවරයා
53යේසුස්වහන්සේ මෙම උපමා පවසා නිම වූ පසු එතැනින් නික්ම, 54තම ගම් පෙදෙසට පැමිණ, ඔවුන්ගේ සිනගෝගයට ගොස්, ඔවුන්ට උගන්වන්නට වූ සේක. ඔවුහු විස්මිත ව, “කොහෙන් ද මේ මිනිසාට මේ ප්‍රඥාව? මේ බලවත් ක්‍රියා? 55මොහු වඩුවාගේ පුතා නො වේ ද? මොහුගේ මව මරියා නො වේ ද? යාකොබ්, යෝසෙප්, සීමොන් හා යූදස් මොහුගේ සහෝදරයින් නො වේ ද? 56මොහුගේ සහෝදරියන් සැවොමත් අප අතරේ ම නො වෙත් ද? එසේ නම් මේ සියල්ල මොහුට ලැබුණේ කොතැනින් දැ?” යි කීහ. 57මෙසේ ඔවුහු උන්වහන්සේට එරෙහි වූහ.
එහෙත් යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “දිවැසිවරයකුට ඔහුගේ ම ගමෙන්, ඔහුගේ ම ගෘහ වාසීන්ගෙන් හැර, ගෞරවය නො ලැබී යන්නේ නැතැ” යි කී සේක.
58ඔවුන්ගේ ඇදහිල්ලේ හීනතාවය නිසා, එහිදී උන්වහන්සේ ප්‍රබල ක්‍රියා බොහොමයක් සිදු නො කළ සේක.
Nke Ahọpụtara Ugbu A:
මතෙව් 13: SCV
Mee ka ọ bụrụ isi
Mapịa
Lee anya n'etiti ihe abụọ
Kesaa
Ịchọrọ ka echekwaara gị ihe ndị gasị ị mere ka ha pụta ìhè ná ngwaọrụ gị niile? Debanye aha gị ma ọ bụ mee mbanye
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.