මතෙව් 18
18
ස්වර්ග රාජ්‍යයේ ශ්‍රේෂ්ඨතමයා
1එකල යේසුස්වහන්සේ වෙත ආ ගෝලයෝ, “ස්වර්ග රාජ්‍යයේදී වඩාත් උත්තමයා කවුරු දැ?” යි ඇසූහ.
2කුඩා දරුවකු කැඳවා ගත් උන්වහන්සේ, ඔවුන් අතර ඔහු සිටුවා: 3“සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබ හැරී, කුඩා දරුවන් මෙන් නො වුවහොත්, ස්වර්ග රාජ්‍යයට ඇතුළු වීමට කිසි සේත් ඔබට නො හැකි බවයි. 4මේ දරුවා මෙන් තමන් ම යටහත් කවරකු වුව ස්වර්ග රාජ්‍යයේදී වඩාත් ම උත්තමයා වෙයි. 5මගේ නාමයෙන් මෙවැනි දරුවකු පිළිගන්නා කවරකු වුව, මා පිළිගනියි.
පවට පෙලඹවීම
6“එහෙත් මා තුළ විශ්වාස කරන මේ කුඩාවුන්ගෙන් එකකු හෝ පාපයට පොලඹවන කවරකු වුව, ඔහුගේ ගෙල වටා ලොකු ඇඹරුම් ගලක් එල්ලා, ගැඹුරු මුහුදේ ගිල්වීම ඔහුට වඩා හොඳ ය. 7පවට පොලඹවන පරීක්ෂා නිසා ලොවට දුක් පැමිණේ; මන්ද එම පරීක්ෂා පැමිණිය යුතු ව ඇත. එහෙත් යමකු මගින් ඒවා පැමිණේ ද, ඒ අයට දුක් වේ! 8ඔබේ අත හෝ ඔබේ පය පාපයට ඔබ පොලඹවයි නම්, එය කපා ඉවත වීසි කරන්න. අබ්බගාත ව හෝ කොර ව හෝ ජීවනයට ඇතුළු වීම, දෑත් හෝ දෙපා ඇති ව සදාතන ගින්නට හෙළනු ලබනවාට වඩා හොඳ ය. 9ඔබගේ ඇස පාපයට ඔබ පොලඹවයි නම්, එය උගුලා ඉවත වීසි කරන්න. එක් ඇසක් ඇති ව ජීවනයට ඇතුල්වීම, දෑස ම ඇති ව නිරා ගින්නට හෙළනු ලබනවාට වඩා හොඳ ය.
නැති වූ බැටළුවා
10“මේ කුඩාවුන්ගෙන් එකකු හෝ සුළු කොට නො තකන්ට වග බලා ගන්න. මා එසේ කියන්නේ, ඔවුන්ගේ දේව දූතයින් ස්වර්ගයේ වෙසෙන මගේ පියාණන්වහන්සේගේ මුහුණ නිරතුරු දකින හෙයිනි. 11මන්ද මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ, නැති වූ දේ සොයන්නටත්, ගලවන්නටත් ය.#18:11 ඇතැම් පුරාණ අත් පිටපත්වල මෙම පදය ඇතුළත් නො වේ.
12“ඔබ සිතන්නේ කුමක් ද? බැටළුවන් සියයක් ඇති මිනිසකුගේ එක් බැටළුවකු මංමුළා ව ගියහොත්, ඔහු අර අනූනව දෙනා කන්දේ පිටියේ හැර, ඒ මංමුළා වූ එකා සොයා යන්නේ නැති ද? 13ඔහුට ඌ හමු වුණොත්, සැබවින් ම මා ඔබට කියන්නේ, මංමුළා නො වූ අර අනූනව දෙනාට ම වඩා මේ එක බැටළුවා ගැන ඔහු සතුටු වන බවයි. 14එසේ ම මේ කුඩාවුන්ගෙන් එකකු හෝ විනාශ වීම ස්වර්ගයේ වෙසෙන මගේ පියාණන්වහන්සේගේ කැමැත්ත නො වේ.
සහෝදරයා ඔබට එරෙහිව පව් කරයි නම්
15“ඔබේ සහෝදරයා ඔබට එරෙහිව පව් කරයි නම්, ගොස්, ඔහු හා ඔබ තනි ව සිට, ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔහු ඔබට සවන් දුනහොත්, ඔබ ඔබේ සහෝදරයා දිනා ගත්තා වෙයි. 16එහෙත් ඔහු ඔබට සවන් නො දේ නම්, ‘හැම කාරණයක් ම සාක්ෂිකරුවන් දෙදෙනකු හෝ තිදෙනකුගේ සාක්ෂිය මත ස්ථිර වන පිණිස,’#18:16 ද්වි 19;15 තව කෙනකු හෝ දෙදෙනකු කැඳවාගෙන යන්න. 17ඔහු ඔවුන්ට සවන් දීම ප්‍රතික්ෂේප කළොත්, එය සභාවට දන්වන්න. ඔහු සභාවට පවා සවන් දීම ප්‍රතික්ෂේප කළොත්, ඔහු විජාතිකයකු හෝ අයබදුකාරයකු සේ ගණන් ගන්න.
18“සැබවින් ම මම ඔබට කියන්නම්; පොළොවේදී ඔබ යමක් බඳින්නේ ද, ස්වර්ගයේදී එය බඳිනු ලැබේ; පොළොවේදී ඔබ යමක් මුදන්නේ ද, ස්වර්ගයේදී එය මුදනු ලැබේ.
19“යළිත් මා ඔබට කියන්නේ, පොළොවේදී ඔබ දෙදෙනකු තමන් ඉල්ලන යම් දෙයක් ගැන එක්සිත් වන්නේ නම්, ස්වර්ගයේ වෙසෙන මගේ පියාණන්වහන්සේ ඔබට එය ඉටු කර දෙන බවයි. 20මන්ද දෙදෙනකු හෝ තිදෙනකු හෝ මගේ නාමයෙන් එක් රැස් වන්නේ නම්, මමත් එතැන ඔවුන් සමඟ සිටිමි” යි පැවසූ සේක.
කමාව දීම සහ නො දීම
21එවිට පේතෘස් අවුත්, උන්වහන්සේ අමතමින්, “ස්වාමිනි, මගේ සහෝදරයා මට එරෙහිව පව් කරන කල, මා කී වරක් ඔහුට කමා විය යුතු ද? හත් වරක් දක්වා දැ?” යි ඇසී ය.
22යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “හත් වරකැයි මා ඔබට කියන්නේ නැත, එහෙත් හැත්තෑ වර හතකි.
23“එබැවින් ස්වර්ග රාජ්‍යය, තම දාසයින් සමඟ ගණන් බේරීමට කැමති වූ රජකුට සමාන කළ හැකි ය. 24ඔහු බේරුම් කිරීම ඇරඹූ කල, තලෙන්ත දස දහසක් ඔහුට ණය වූ දාසයෙක් ඔහු ඉදිරියට පමුණු වන ලදී. 25ණය ගෙවීමට ඔහුට නුපුළුවන් වූ බැවින් එම ණය ගෙවනු පිණිස ඔහුත්, ඔහුගේ භාර්යාව හා දරුවනුත්, ඔහුට අයත් ව තිබූ සියල්ලත් විකුණා, ණය බේරන ලෙස ඔහුගේ හාම්පුතා නියෝග කළේ ය.
26“එවිට එම දාසයා, ඔහු අබියස දණින් වැටී, ‘අනේ මා ගැන ඉවසන්න; මා සියල්ල ආපසු ගෙවනවා’ යි කන්නලව් කළේ ය. 27එවිට ඔහු ගැන අනුකම්පා කළ ඒ දාසයාගේ හාම්පුතා, ඔහු නිදහස් කරමින්, ඔහුගේ ණය කමා කළේ ය.
28“එහෙත් ඒ දාසයා පිටත් ව යද්දී, ඩිනාරි සියයක සුළු මුදලක් ඔහුට ණය ව සිටි සහෝදර දාසයකු හමු වී, ඔහු අල්ලා, ‘මගේ ණය ආපසු ගෙවනු’ කියමින් ඔහුගේ ගෙල මිරිකන්නට වන්නේ ය.
29“එවිට සහෝදර දාසයා දණින් වැටී, ‘අනේ මා ගැන ඉවසන්න; මා සියල්ල ආපසු ගෙවනවා’ යි කන්නලව් කළේ ය.
30“එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කර, ණය ගෙවන තෙක් ඔහු සිරගත කරවී ය. 31සිදු වූ දේ දුටු අනෙක් දාසයෝ ඉන් දැඩි කම්පාවට පත් ව, ගොස්, සිදු වූ හැම දෙයක් ම ඔවුන්ගේ හාම්පුතාට පැවසූහ.
32“එවිට ඔහු කැඳවූ හාම්පුතා, ‘එම්බා දුෂ්ට දාසය, නුඹ මට කන්නලව් කළ නිසා, නුඹේ සියලු ණය කමා කළෙමි. 33මා නුඹට දයාව පෑ සේ, නුඹත් නුඹේ සහෝදර දාසයාට දයා කළ යුතු ව තිබුණා නො වේ දැ?’ යි පැවසී ය. 34ඔහුගේ හාම්පුතා කෝප වී, තමාගේ සියලු ණය ගෙවන තෙක් ඔහු වධකයින්ට බාර දුන්නේ ය.
35“ඔබේ හදවතින් ඔබේ සහෝදරයාට ඔබ කමා නො කරන්නේ නම්, ඔබ හැම කෙනකුට මගේ පියාණන්වහන්සේත් එසේ ම කරන සේකැ” යි පැවසූ සේක.
Nke Ahọpụtara Ugbu A:
මතෙව් 18: SCV
Mee ka ọ bụrụ isi
Mapịa
Lee anya n'etiti ihe abụọ
Kesaa
Ịchọrọ ka echekwaara gị ihe ndị gasị ị mere ka ha pụta ìhè ná ngwaọrụ gị niile? Debanye aha gị ma ọ bụ mee mbanye
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.