මතෙව් 24
24
දේව මාලිගයේ විනාශය සහ යුගාන්තය
1යේසුස්වහන්සේ දේව මාලිගයෙන් නික්ම යද්දී, උන්වහන්සේගේ ගෝලයෝ දේව මාලිග ගොඩනැගිලි වෙත උන්වහන්සේගේ අවධානය යොමුකරවන්නට උන්වහන්සේ වෙත ආහ. 2එවිට උන්වහන්සේ, “මේ සියල්ල ඔබට පෙනෙනවා නො වේ ද? සැබවින් ම මා ඔබට කියන්නේ, ගලක් පිට ගලක් නො තිබෙන සේ, හැම එකක් ම බිඳ දමා පොළොවට සමතලා කර දමන කාලයක් පැමිණෙන බව යැ” යි පැවසූ සේක.
3ඉන්පසු යේසුස්වහන්සේ ඔලීව කන්දේ වාඩි වී සිටියදී, පෞද්ගලික ව උන්වහන්සේ වෙත ආ ගෝලයෝ, “එය සිදු වන්නේ කවරදා ද? ඔබගේ පැමිණීමේත්, මේ යුගයේ අවසානයේත් පෙර නිමිත්ත කුමක් දැයි අපට කියන්නැ” යි කීහ.
4යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “කිසිවකු ඔබ මුළා නො කරන ලෙසට වග බලා ගන්න. 5මන්ද බොහෝ දෙනෙක් මගේ නාමයෙන් අවුත්, ‘ක්‍රිස්තුස් මමයි!’ කියා ගනිමින් බොහෝ දෙනකු මුළා කරනු ඇත. 6යුද්ධ හා යුද්ධ ගැන ආරංචි ඔබට අසන්නට ලැබෙයි. ඒවායින් තැතිගැනීමෙන් වළකින්නට බලා ගන්න. මන්ද එය සිදු විය යුතු ව තිබේ. එහෙත් අවසානය එය නො වේ. 7ජාතියකට එරෙහිව ජාතියක් ද රාජ්‍යයකට එරෙහිව රාජ්‍යයක් ද නැගී සිටිනු ඇත. නොයෙක් තැන්හි සාගත ද භූමිකම්පා ද සිදු වනු ඇත. 8මේ සියල්ල ප්‍රසව වේදනාවේ පටන් ගැන්ම ය.
9“එකල ඔබට විපත් පීඩා පමුණු වන්නට හා ඔබ මරා දමන්නට ඔවුන් ඔබ අල්ලා දෙනු ඇත. මගේ නාමය නිසා සියලු ජාතීන් ඔබට වෛර කරනු ඇත. 10එකල බොහෝ දෙනකු ඇදහිල්ලෙන් වැටී, එකිනෙකා පාවා දෙනු ඇත; එකිනෙකාට වෛර කරනු ඇත. 11බොරු දිවැසිවරුන් බොහෝ දෙනෙක් ද නැගිට, බොහෝ දෙනකු මුළා කරනු ඇත. 12නොපණත්කම අධික වන බැවින් වැඩි දෙනාගේ ප්‍රේමය නිවී යනු ඇත. 13එහෙත් අවසානය දක්වා නො සැලී ස්ථිර ව සිටින්නා ගලවනු ලබන්නේ ය. 14රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වශයෙන් ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබනු ඇත. ඉන්පසු අවසානය පැමිණේ.
15“එබැවින්, දානියෙල් දිවැසිවරයා මගින් පවසන ලද ‘බිහිසුණු පාළු ව ගෙනෙන පිළිකුල’#24:15 දානි 9:27;11:31;12;11 ශුද්ධස්ථානයේ සිටගෙන සිටිනු ඔබ දකින කල, (කියවන්නා එය තේරුම් ගනීවා). 16යුදයේ සිටින්නෝ කඳුවලට පලා යත්වා! 17තම ගෙයි පියස්සේ සිටින්නා ගෙතුළ ඇති යමක් ගන්නා පිණිස පහළ නො බසිත්වා! 18කෙතෙහි සිටින්නා, තම කබාය ගන්නට ආපසු නො ඒවා! 19ගැබිනියනටත්, කිරි දෙන මවුන්ටත් ඒ දවස් අහෝ භයංකර ය. 20ඔබේ පලා යෑම ශීත කාලයේ හෝ සබතක හෝ නො වන ලෙස යාච්ඤා කරන්න. 21මන්ද ලොව ඇරඹුණු තැන් පටන් මෙතෙක් සිදු නො වූ, මතු කවර කලෙක සිදු නො වන මහා විපත්-පීඩාවක් වනු ඇත.
22“ඒ කාලය කෙටි නො කරන ලද්දේ නම්, කිසි කෙනෙක් ඉතිරි නො වන්නේ ය. එහෙත් තෝරා ගත්තවුන් උදෙසා ඒ කාලය කෙටි කෙරේ. 23එකල යමෙක් ඔබට කතා කර, ‘මෙන්න, ක්‍රිස්තුස්වහන්සේ මෙතැන ය; අන්න, උන්වහන්සේ අතැන ය’ කියා පැවසුවත් එය විශ්වාස නො කරන්න. 24මන්ද හැකි වේ නම්, තෝරා ගත්තවුන් පවා මුළා කරන පිණිස, ව්‍යාජ ක්‍රිස්තුවරුන් හා ව්‍යාජ දිවැසිවරුන් නැගිට, මහත් ලකුණු හා හාස්කම් දක්වනු ඇත. 25ඔන්න, කල්තියා ම මම ඔබට කීවෙමි.
26“එබැවින්, ඔවුන් ඔබට කතා කොට, ‘අන්න, එතුමන් පාළුකරයේ’ යි කීවොත්, පිටතට නො යන්න, ‘මෙන්න, එතුමන් ඇතුළු කුටියකැ’ යි කීවොත් එය විශ්වාස නො කරන්න. 27මන්ද පෙරදිගින් නැගෙන විදුලිය, බටහිර දක්වා ඈතට දිදුලන්නේ යම් සේ ද, මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පැමිණීමත් එසේ ම වන්නේ ය. 28මළකුණක් ඇත්තේ කොතැනක ද ගිජු ලිහිණි රැස් වන්නේ එතැනට ය.
29“එදවස්හි විපත් පීඩා නිම වූ කෙණෙහි ම
“ ‘හිරු අඳුරු වනු ඇත,
සඳු එහි එළිය නො දෙනු ඇත;
තරු අහසින් කඩා වැටෙනු ඇත,
අහසේ බල වස්තූන් සොලවනු ලබනු ඇත.’#24:29 යෙසා 13;10;34;4
30“එකල මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ සලකුණ අහසේ දක්නට ලැබෙනු ඇත. එවිට පොළොවෙහි සියලු ගෝත්‍ර හඬා වැලපෙනු ඇත. මනුෂ්‍ය පුත්‍රයාණන් බලයෙන් හා මහත් තේජසින් යුතු ව අහසේ වලාකුළු මතින් පැමිණෙනු ඔවුන් දකිනු ඇත. 31එවිට උන්වහන්සේ මහා හොරණෑ හඬක් සහිත ව, ස්වකීය දූතයින් පිටත් කර එවන සේක. ඔවුන් අහසේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා පොළොවේ සතර දිගින් ම උන්වහන්සේගේ තෝරා ගත්තවුන් රැස් කරනු ඇත.
32“අත්තික්කා ගසෙන් මේ පාඩම ඉගෙන ගන්න: එහි රිකිලි මෘදු වී, ඒවායේ කොළ ලියලන විට, ගිම්හාන කාලය ළඟා වී ඇති බැව් ඔබ දනිති. 33එලෙස ම, මේ දේවල් සිදු වනු දකින කල, උන්වහන්සේ අත ළඟ වග, දොරකඩ ළඟ ම බව දැනගන්න. 34සැබවින් ම මා ඔබට කියන්නේ, මේ හැම දේ සිදුවන තුරු මේ පරම්පරාව පහව නො යන බවයි. 35අහසත් පොළොවත් පහව යනු ඇත. එහෙත් මගේ වචන පහව යන්නේ නැත.
තීරණාත්මක දවස කිසිවකු නො දනී
36“පියාණන්වහන්සේ පමණක් මිස, ඒ දවස හෝ ඒ පැය ගැන කිසිවකු දන්නේ නැත; ස්වර්ගයේ දේව දූතයින්වත්, පුත්‍රයාණන්වත් දන්නේ නැත. 37මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පැමිණීමේදී වන්නේ නෝවාගේ දවස්වලදී සිදු වූ ලෙස ම ය. 38මන්ද ජලගැල්මට කලින් නෝවා නැවට ඇතුළු වූ දවස දක්වා මිනිසුන් කමින් ද බොමින් ද ආවාහ කර ගනිමින් ද හා විවාහ වෙමින් සිටි ලෙස ය. 39ජලගැල්ම ගලා, ඔවුන් හැම ගසා ගෙන යන තුරු කුමක් වී දැයි ඔවුහු නො දත්හ. මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පැමිණීමේදී සිදු වන්නේ එය ම ය. 40මිනිසුන් දෙදෙනකු කෙතේ සිටිනු ඇත. ඉන් කෙනෙක් ගනු ලැබේ; අනෙකා හැර දමා යනු ලැබේ. 41ස්ත්‍රීන් දෙදෙනකු ඇඹරුම් ගලක අඹරමින් සිටිනු ඇත. ඉන් කෙනෙක් ගනු ලැබේ; අනෙක් තැනැත්තිය හැර දමා යනු ලැබේ.
42“එබැවින් විමසිල්ලෙන් සිටින්න. මන්ද ඔබගේ ස්වාමින්වහන්සේ කෙදිනක පැමිණේදෝයි ඔබ නො දන්නා බැවිනි. 43එනමුත් මෙය වටහා ගන්න: සොරා එන්නේ රැයේ කවර පැයේදැයි ගෘහ මූලිකයා දැන සිටියේ නම්, විපරමින් සිට, තම ගේ බිඳීමට ඔහු ඉඩ තබන්නේ නැත. 44එබැවින් ඔබත් සූදානමින් සිටිය යුතුයි. මන්ද එතැයි ඔබ නො සිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයාණන් පැමිණෙනු ඇත.
45“එසේ නම් තම ගෘහවාසී සේවකයින්ට නිසි වෙලාවට ආහාර දීමට, ස්වාමියා විසින් පත් කරනු ලබන විශ්වාසී, සිහි නුවණැති සේවකයා කවුරු ද? 46ස්වාමියා ආපසු එන කල ඒ සේවකයා එසේ කරනවා දකින්නේ නම්, ඔහු භාග්‍යවත් ය. 47සැබවින් ම මා ඔබට කියන්නේ, එතුමා තමන් සන්තක සියල්ලෙහි බාරකාරත්වයට ඔහු පත් කරනු ඇති බවයි. 48එහෙත් ඒ නපුරු සේවකයා, ‘මගේ ස්වාමියා එන්නට පමා වෙතැ’ යි කියා ගනිමින් 49සෙසු සේවකයන්ට තලන්නටත්, බේබද්දන් සමඟ කන්නට-බොන්නටත් පටන් ගතහොත්, 50ඔහු එතැයි ඔහු අපේක්ෂා නො කළ දවසක, ඔහු නො දන්නා පැයෙක ඔහුගේ ස්වාමියා පැමිණ, 51ඒ සේවකයාට දරුණු ලෙස දඬුවම් කර, කැබලිවලට කපා, කුහකයින් සමඟ දමනු ඇත, එතැන වැලපීමත්, දත්මිටි කෑමත් වනු ඇත.
Nke Ahọpụtara Ugbu A:
මතෙව් 24: SCV
Mee ka ọ bụrụ isi
Mapịa
Lee anya n'etiti ihe abụọ
Kesaa
Ịchọrọ ka echekwaara gị ihe ndị gasị ị mere ka ha pụta ìhè ná ngwaọrụ gị niile? Debanye aha gị ma ọ bụ mee mbanye
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.