Logo ng Bible App
Hanapin ang Icon

රෝම 6

6
මරණය සහ නව ජීවනය
1එසේ නම් කුමක් කියන්නෙමු ද? අනුග්‍රහය බහුල වන පිණිස, අප දිගට ම පවෙහි ගැලෙනවා ද? 2කොහෙත් ම නැත! පාපයට මළා වූ අප, තවදුරටත් එහි ජීවත් වන්නේ කෙසේ ද? 3ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළට බව්තීස්ම කරනු ලැබූ අප සැවොම, උන්වහන්සේගේ මරණයට බව්තීස්ම කරනු ලැබ ඇති වග ඔබ දන්නේ නැති ද? 4එබැවින් අපි උන්වහන්සේ සමඟ බව්තීස්මය මගින් මරණයට පත් ව, වළලනු ලැබීමු. එසේ වූයේ පියාණන්වහන්සේගේ තේජෝ බලයෙන් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවනු ලැබූ සේ ම, අපත් ජීවිතය අලුත්කමකින් ගත කරන පිණිස ය.
5උන්වහන්සේගේ මරණයෙන් මෙලෙස අප උන්වහන්සේ සමඟ එක් කරනු ලැබුවා නම්, නිසැකයෙන් ම උන්වහන්සේගේ මරණින් නැගිටීමෙන් ද අපි උන්වහන්සේ සමඟ එක් කරනු ලබන්නෙමු. 6තවදුරටත් පාපයේ වහල් බවට පත් නො වන්නට, පාපයේ ශරීරය නැති වන පිණිස, අපගේ පැරණි මනුෂ්‍යයා, උන්වහන්සේ සමඟ කුරුසිපත් කරන ලද බැව් අපි දනිමු. 7මන්ද මළ තැනැත්තා පාපයෙන් නිදහස් කරනු ලැබ ඇත.
8ක්‍රිස්තුස්වහන්සේ සමඟ අපි මැරුණෙමු නම්, උන්වහන්සේ සමඟ අප ද ජීවත් වන වග, අපි විශ්වාස කරන්නෙමු. 9ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවනු ලැබ සිටින බැවින්, කිසි කල යළි මැරෙන්නේ නැති වග අපි දනිමු. මරණයට තවදුරටත් උන්වහන්සේ කෙරේ ආධිපත්‍යයක් නැත. 10උන්වහන්සේ මැරුණ මරණයෙන්, උන්වහන්සේ එක ම වරක් පාපයට මළ සේක; එහෙත් උන්වහන්සේ ජීවත් වන ජීවිතයෙන්, දෙවියන්වහන්සේට ජීවත් වන සේක.
11එලෙස ම ඔබත්, පාපයට මැරී, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේට ජීවත්වන්නන් වග කල්පනාවට ගන්න. 12එබැවින් පාපී ආශාවනට ඔබ අවනත නො වන පිණිස මැරෙන සුළු වූ ඔබේ සිරුර තුළ රජකම් කිරීමට පාපයට ඉඩ නො දෙන්න. 13ඔබගේ අවයව දුෂ්ටකමට උපකරණ සේ යෙදවීමට, පාපයේ කැමැත්තට බාර නො දී, මරණයෙන් ජීවනයට පැමිණියකු සේ ඔබ දෙවියන්වහන්සේට බාර වී, ඔබේ අවයව ධර්මිෂ්ඨකමට උපකරණ සේ දෙවියන්වහන්සේට බාර දෙන්න. 14මන්ද ඔබ ව්‍යවස්ථාව යටතේ නො ව, අනුග්‍රහය යටතේ සිටින බැවින්, පාපයට ඔබ කෙරේ ස්වාමිකත්වයක් නැත.
ධර්මිෂ්ඨකමේ දාසයෝ
15එසේ නම් කිමෙක් ද? අප ව්‍යවස්ථාව යටතේ නො ව, අනුග්‍රහය යටතේ වන බැවින් පවෙහි ගැලෙමු ද? කොහෙත් ම නැත! 16යමකුට වහලුන් සේ අවනත වීමට ඔබ ඉදිරිපත් වේ නම්, එය මරණයට ගෙන යන පාපය හෝ ධර්මිෂ්ඨකමට ගෙන යන කීකරුකමට හෝ එසේ අවනත වන දේට, ඔබ වහලකු වන බව දන්නේ නැති ද? 17එහෙත් දෙවියන්වහන්සේට ස්තුති වේවා, කලක් පාපයේ වහලුන් ව සිටි ඔබ, දැන් ඔබට බාර දෙන ලද ඉගැන්වීම් පිළිවෙතට හදවතින් ම අවනත ව, 18පාපයෙන් නිදහස් කරනු ලැබ, ධර්මිෂ්ඨකමේ වහලුන් බවට පත් ව සිටිති.
19මානව නිදර්ශනවලින් මා ඔබට කතා කරන්නේ, ඔබගේ ස්වාභාවික දුර්වලතා නිසා ය. මන්ද කලක් ඔබ ඔබගේ අවයව අපවිත්‍රතාවේ වහල්කමටත්, වඩ වඩා නොපනත්කමට දිවෙන නොපනත්කමටත් වහලුන් සේ බාර දී තිබූ සේ, දැන් ඔබේ අවයව ශුද්ධවත් භාවයට දිවෙන ධර්මිෂ්ඨකමේ වහලුන් කොට බාර දෙන්න. 20පාපයේ වහලුන් ව සිටියදී, ධර්මිෂ්ඨකම සම්බන්ධයෙන් ඔබ සිටියේ නිදහස් ව ය. 21ඔබ දැන් ලජ්ජා වන දේවලින් එකල ඔබ ලද්දේ කවර පලයක් ද? ඒවායේ කෙළවර මරණයයි. 22එහෙත් දැන් පාපයෙන් නිදහස් කරනු ලැබ, දෙවියන්වහන්සේගේ වහලුන් බවට ඔබ පත් ව ඇත. ඔබට ඉන් ලැබෙන පලය ශුද්ධවත් භාවයයි. එහි කෙළවර සදාතන ජීවනයයි. 23මන්ද පාපයේ කුලිය මරණයයි. එහෙත් දෙවියන්වහන්සේගේ තිළිණ දීමනාව, ක්‍රිස්තුස් යේසුස් අප ස්වාමින්වහන්සේ තුළ සදාතන ජීවනයයි.

Kasalukuyang Napili:

රෝම 6: SCV

Haylayt

Kopyahin

Paghambingin

Ibahagi

None

Gusto mo bang ma-save ang iyong mga hinaylayt sa lahat ng iyong device? Mag-sign up o mag-sign in