Logo ng Bible App
Hanapin ang Icon

රෝම 7

7
ව්‍යවස්ථාවෙන් නිදහස් ව, ක්‍රිස්තුස්වහන්සේට බැඳී
1සහෝදරයිනි, මා කතා කරන්නේ නීතිය දන්නා අයට ය; නීතිය කෙනකුට බලපවත්වන්නේ ඔහු ජීවත් ව සිටින තෙක් පමණක් වග ඔබ දන්නේ නැති ද? 2එපරිදි විවාහක ස්ත්‍රියක් ඇගේ ස්වාමිපුරුෂයා ජීවත් ව සිටින තුරු, නීතියෙන් ඔහුට බැඳී සිටින්නී ය. එහෙත් ඇගේ ස්වාමිපුරුෂයා මළහොත්, ඔහුට බැඳුණු විවාහ නීතියෙන් ඈ නිදහස් වන්නී ය. 3තවද ඇගේ ස්වාමිපුරුෂයා ජීවත් ව සිටියදී, ඇය වෙනත් මිනිසකු හා ජීවත්වුණොත්, ඇය පරදාරිකාවකැයි කියනු ලබයි. එහෙත් ඇගේ ස්වාමිපුරුෂයා මළහොත්, ඇය එම බැම්මෙන් නිදහස් වන බැවින්, ඉන්පසු වෙනත් පුරුෂයකු හා විවාහ වුවත්, ඇය පරදාරිකාවක් වන්නේ නැත.
4මා සහෝදරයිනි, එපරිදි ම ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය හේතු කොට ඔබත් ව්‍යවස්ථාවට මැරුණහ; එසේ ව ඇත්තේ දෙවියන්වහන්සේට අප පල දරන පිණිස, වෙනත් කෙනකුට එනම් මළවුන්ගෙන් නැගිටුවන ලද තැනැන්වහන්සේට ඔබ බැඳී සිටින පිණිස ය. 5මාංසයෙහි අප ජීවත් වූ කාලයේ ව්‍යවස්ථාවෙන් පොලඹවනු ලැබූ අපගේ පාප තෘෂ්ණා, අප ඉඳුරන් තුළ ක්‍රියාත්මක වූයේ, මරණයට පල උපද්දවමිනි. 6එහෙත්, අප බැඳ තිබූ බැඳීමට මැරී, දැන් අපි ව්‍යවස්ථාවෙන් නිදහස් ව සිටින්නෙමු. එහි ප්‍රතිඵලය නම්, අප සේවය කරන්නේ ලේඛනයක් මත පමණක් පදනම් වූ පැරණි ක්‍රමයට අනුව නො ව, ආත්මයාණන්ගේ නව ක්‍රමයට ය.
ව්‍යවස්ථාව හා පාපය
7එසේ නම් කුමක් කියමු ද? ව්‍යවස්ථාව පාපය ද? කොහෙත් ම නැත! මන්ද ව්‍යවස්ථාව නො වන්නට පාපය කුමක් දැයි මා නො දැන සිටින්නට තිබිණි. “තණ්හා නො වනු”#7:7 නික්ම 20;17; ද්වි 5;21 යි ව්‍යවස්ථාවෙන් නො කියැවිණි නම්, තණ්හාව කුමක් දැයි මා නො දැන සිටින්නට තිබිණි. 8එහෙත් නීතිය මගින් ඉඩ ප්‍රස්තා අල්ලා ගත් පාපය, සියලු ආකාර තණ්හා-ආශා මා තුළ උපැද්ද වී ය. ව්‍යවස්ථාව නැති තැන, පාපය මළ එකකි. 9වරෙක මම ව්‍යවස්ථාවෙන් තොර ව ජීවත් ව සිටියෙමි. එහෙත්, ආඥාව පැමිණි කල, පාපය පණ ගැන්විණි; මම මැරුණෙමි. 10ජීවනය පොරොන්දු වූ ආඥාව ම මට මරණය ගෙනාවේ ය. 11මන්ද ආඥාව මගින් ප්‍රස්තාව අල්ලා ගත් පාපය, මා රවටා, එමඟින් මා මරා දැමී ය. 12එබැවින් ව්‍යවස්ථාව ශුද්ධ ය; ආඥාව ශුද්ධ ය; ධර්මිෂ්ඨ ය; යහපත් ය.
13එසේ නම්, මට මරණය ගෙනාවේ ඒ යහපත් දේ ද? කොහෙත් ම නැත! පාපය, පාපය ම වග පෙන්වීමට හා මනින්නට බැරි තරම් වූ පාපිෂ්ඨත්වය, ආඥාව මගින් පෙන්වීමට ඒ යහපත් දේ මගින් මා තුළ මරණය නිපදවූයේ පාපයයි.
14මන්ද ව්‍යවස්ථාව ආත්මික වග අපි දනිමු. එහෙත් මම, පාපය යටතේ විකුණන ලද මාංසිකයෙක්මි. 15මගේ ම හැසිරීම ගැන මට ම නො තේරේ. මන්ද මා කරන්නේ, කරන්නට මට ඕනෑ වූ දේ නො ව, කරන්නට මා අකමැති දේ ය. 16තවද මා කරන්නේ, කරන්නට මා අකමැති දේ නම්, ව්‍යවස්ථාව යහපත් වගට මම එකඟ වෙමි. 17එබැවින් තවදුරටත් එය කරන්නේ මා නො වේ; මා තුළ වෙසෙන පාපයයි. 18මන්ද මා තුළ, මගේ මාංසය තුළ කිසි යහපතක් වෙසෙන්නේ නැති වග මම දනිමි. මන්ද හරි දේ කිරීමේ ආශාව මට ඇතත්, ඒ දේ කිරීමේ හැකියාව මට නැත. 19මන්ද මා දිගට ම කරන්නේ, මා කරන්නට කැමති යහපත නො ව, කරන්නට අකමැති නපුරයි. 20මෙසේ මා කරන්නේ, කරන්නට මා අකමැති දෙය ම නම්, තවදුරටත් එසේ කරන්නේ, මා නො ව, මා තුළ වෙසෙන පාපයයි.
21මෙසේ, යහපත කරන්නට මට ඕනෑ කරන හැම විට, නපුර අත ළඟ ම ලැග සිටීමේ නීතියක් ක්‍රියාත්මක බැව් මට පෙනේ. 22මන්ද මගේ ඇතුළාන්ත මිනිසාගෙන් මම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ප්‍රමෝද වන්නෙමි. 23එහෙත් මගේ මනසේ නීතියට එරෙහිව මගේ ඉන්ද්‍රියයන් තුළ වෙනත් නීතියක් යුද වැද, මගේ ඉන්ද්‍රියයන් තුළ වෙසෙන පාපයේ නීතියට මා වසඟ කරවනු මට පෙනේ. 24අහෝ මා වැනි අභාග්‍යවත් මිනිහෙක්! මරණීය වූ මේ සිරුරින් මා මුදාලන්නේ කවුරු ද? 25යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මගින් දෙවියන්වහන්සේට ස්තුති වේවා!
මෙසේ මම, මගේ මනසින් සේවය කරන්නේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට ය; එහෙත් මගේ මාංසයෙන් මා සේවය කරන්නේ පාපයේ ව්‍යවස්ථාවට ය.

Kasalukuyang Napili:

රෝම 7: SCV

Haylayt

Kopyahin

Paghambingin

Ibahagi

None

Gusto mo bang ma-save ang iyong mga hinaylayt sa lahat ng iyong device? Mag-sign up o mag-sign in