Àmì Ìdánimọ̀ Ohun-èlò Bíbélì
Ṣe Àwárí

ක්‍රියා 24

24
පීලික්ස් ඉදිරිපිට පාවුල්ගේ නඩු විභාගය
1පස් දිනකට පසු, උත්තම පූජක අනනියස්, වැඩිහිටියන් කීප දෙනෙක් හා තෙර්තුලස් නම් නීතිඥයා කැටිව, කායිසාරියට පැමිණියේ ය. ඔවුහු පාවුල්ට එරෙහි චෝදනා ආණ්ඩුකාරයා වෙත ඉදිරිපත් කළහ. 2පාවුල් ඇතුළට කැඳවනු ලැබූ කල, තෙර්තුලස් පැමිණිල්ල ඉදිරිපත් කරමින්: “ඔබතුමන් යටතේ අපට දීර්ඝ සාමකාමී කාලයක් භුක්ති විඳින්නට ලැබුණු බවත්, ඔබගේ දූරදර්ශීකමින් මේ ජාතියට ප්‍රතිසංස්කරණ රැසක් සිදු වූ බවත්, 3අතිගරු පීලික්ස් තුමනි, හැම තැනකදී, හැම අයුරින් අපි මහත් කෘතඥතාවෙන් යුතු ව පිළිගනිමු. 4තවත් ඔබ වෙහෙස නො කරන පිණිස අප දැන් ලුහුඬින් කියන දේට කරුණාවෙන් සවන් දෙන මෙන් ඉල්ලමි.
5“මේ මිනිසා ලොව පුරා යුදෙව්වරුන් කැරලිකාරකමට පොලඹවන අයෙක් බව අපි දැන ගතිමු. ඔහු නාසරීනු නිකායේ කල්ලි නායකයෙක්. 6ඔහු අපේ දේව මාලිගාව පවා දූෂ්‍ය කරන්නට වෙර දැරුවා; එනිසා අපි ඔහු අල්ලා ගත්තා. අපගේ ව්‍යවස්ථාවට අනුව ඔහු විනිශ්චය කරන්නට අපට වුවමනා වුවත්, 7සෙන්පති ලිසියස් පැමිණ, මහත් බලහත්කාරයෙන් අපේ අත්වලින් ඔහු උදුරාගෙන, 8ඔහුට වරද තබන පිණිස ඔබ වෙතට ඒමට අණ කළේ ය. අප ඔහුට විරුද්ධ ව නගන මේ සියලු චෝදනාවල සත්‍යතාව, ඔහු විභාග කිරීමෙන් ඔබට ම දැනගත හැකි වනු ඇතැ” යි කීවේ ය.
9යුදෙව්වරු ද චෝදනා කරන්නට හවුල් වෙමින්, ඒවා සත්‍ය බව සහතික කළහ.
10කතා කරන ලෙස ආණ්ඩුකාරයා සංඥා කළෙන්, පාවුල් පිළිතුරු දෙමින්, “ඔබතුමා වසර ගණනාවක් මේ ජාතියට විනිශ්චයකරුවකු ව සිටින වග දනිමි; එබැවින් ඉතා සතුටින් මගේ නිදහසට කරුණු ගෙන හැර දක්වමි. 11නමස්කාර කරන පිණිස, මා යෙරුසලමට ගොස් තවම දොළොස් දිනකට වඩා නැති බව සොයා දැනගැනීමට ඔබට පුළුවන. 12දේව මාලිගයේ මා කිසිවකු සමඟ වාද කරනවා මේ පැමිණිලිකරුවන් දැක නැත. සිනගෝගයේදී හෝ නගරයේ වෙන යම් තැනකදී මා ජනයා කලඹවනවා ද ඔවුන් දැක නැත. 13එසේ ම දැන් මට එරෙහිව ඔවුන් නගන චෝදනා, ඔබ ඉදිරියේ ඔප්පු කරන්නට ද ඔවුන්ට බැරි ය. 14කෙසේ වුව ද නිකායකැයි ඔවුන් හඳුන්වන මෙම ධර්ම-මාර්ගයේ අනුගාමිකයකු වශයෙන් මම, අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේට නමස්කාර කරන්නෙක් වග පිළිගනිමි. එසේ ම ව්‍යවස්ථාවට අදාළ හැම දෙයක් ගැනත්, දිවැස්වැකිවල සඳහන් දෑ ගැනත් මම විශ්වාස කරමි. 15තවද ධර්මිෂ්ඨයින් හා අධර්මිෂ්ඨයින් යන දෙගොල්ලන්ගේ ම නැවත නැගිටීමක් ඇතැයි දෙවියන්වහන්සේ තුළ මොවුන්ට ඇති බලාපොරොත්තුව ම මට ද ඇත. 16එබැවින් දෙවියන්වහන්සේ හා මිනිසුන් ඉදිරියේ පිරිසිදු හෘද සාක්ෂියකින් සිටින්නට සැම විට පරිශ්‍රම දරමි.
17“වසරකට පසු මා යෙරුසලමට ආවේ, මගේ ජනයාට සහනාධාර දීමටත්, පඬුරු ඔප්පු කිරීමටත් ය. 18දේව මාලිගාව තුළ මා එසේ කරමින් සිටියදී, ඔවුන් මා දකින වෙලාවේ මා සිටියේ චාරිත්‍රානුකූලව පවිත්‍රවයි. මා සමඟ සමූහයක් සිටියේවත්, මා කිසි කලබලයක් කළේවත් නැහැ. 19එහෙත් එවේලේ එහි සිටි ආසියා කලාපයෙන් පැමිණි යුදෙව්වරුන් කීප දෙනාට මට එරෙහිව යම් චෝදනාවක් ඇත්නම්, ඔවුන් ම මෙහි පැමිණ ඔබ ඉදිරියේ ඒ චෝදනා ඉදිරිපත් කිරීම යුතු ව තිබුණා. 20නැතහොත් මන්ත්‍රණ සභාව ඉදිරිපිට මා කවර අපරාධයක් කරනවා ඔවුන් දුටුවේ ද කියා දැන් මෙහි සිටින මේ මිනිසුන් පැමිණිලි කරත්වා. 21මා ඔවුන් ඉදිරියේ සිට හඬ ගා කී එක ම දේ නම්, ‘ඔබ ඉදිරියේ අද මා විනිශ්චයට ලක් ව ඇත්තේ මළවුන්ගෙන් නැගිටීමේ කාරණය ගැන ය’ කියා යැ” යි කියමින් පාවුල් කතාව නිම කළේ ය.
22ධර්ම-මාර්ගය ගැන මැනවින් දැන සිටි පීලික්ස් නඩු වාරය නිම කරමින්, “සෙන්පති ලිසියස් පැමිණි පසු මම ඔබේ නඩුව තීන්දු කරමි” යි කීවේ ය. 23තවද පාවුල් සිර බාරයේ තබන ලෙසත්, තරමක නිදහසක් ඔහුට දෙන ලෙසත්, ඔහුගේ අවශ්‍යතා සොයා බලන්නට ඔහුගේ මිතුරන්ට තහනම් නො කරන ලෙසත්, සියයේ හේවාපන්න නිලධාරියකුට ඔහු නියෝග කළේ ය.
24ටික දිනකට පසු පීලික්ස්, යුදෙව් ස්ත්‍රියක වූ දෘසිල්ලා නම් සිය භාර්යාව කැටිව අවුත්, පාවුල් කැඳවා, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිල්ල ගැන ඔහු කතා කරනු අසා සිටියේ ය. 25ධර්මිෂ්ඨකම ගැන ද ආත්ම දමනය ගැන ද මතු පැමිණෙන විනිශ්චය ගැන ද පාවුල් කරුණු කියද්දී බයට පත් පීලික්ස්, “දැනට ඔය ඇති! ඔබට යන්න පුළුවනි. ඉඩ ලැබුණු විටෙක මම යළිත් ඔබට අඬගසන්නම්” යි කීවේ ය. 26තවද පාවුල් තමාට අල්ලසක් දෙතැයි බලාපොරොත්තුව ඔහු වරින් වර පාවුල් තමා වෙත කැඳවා, ඔහු හා කතා බහ කළේ ය.
27එහෙත් වසර දෙකකට පසු පීලික්ස්ගේ තනතුරට පොර්කියස් පෙස්තුස් පත් ව ආවේ ය. යුදෙව්වරුන් සතුටු කිරීමට කැමති වූ පීලික්ස්, පාවුල් සිර බාරයේ ම සිටින්නට හැරියේ ය.

Àwon tá yàn lọ́wọ́lọ́wọ́ báyìí:

ක්‍රියා 24: SCV

Ìsàmì-sí

Daako

Ṣe Àfiwé

Pín

None

Ṣé o fẹ́ fi àwọn ohun pàtàkì pamọ́ sórí gbogbo àwọn ẹ̀rọ rẹ? Wọlé pẹ̀lú àkántì tuntun tàbí wọlé pẹ̀lú àkántì tí tẹ́lẹ̀