Àmì Ìdánimọ̀ Ohun-èlò Bíbélì
Ṣe Àwárí

මතෙව් 19

19
දික්කසාද ගැටලුව
1මේ දෑ කියා නිම වූ පසු යේසුස්වහන්සේ ගලීලයෙන් නික්ම, යොර්දානයෙන් එතෙර යුදය පළාතට පැමිණි සේක. 2මහ ජනකායක් උන්වහන්සේ පස්සේ ගියහ. උන්වහන්සේ එහිදී ඔවුන් සුව කළ සේක.
3පරිසිවරු පැමිණ, උන්වහන්සේ පරීක්ෂා කරමින්, “කවර හේතුවක් නිසාවත්, මිනිසකු සිය භාර්යාව දික්කසාද කිරීම නිත්‍යානුකූල දැ?” යි ඇසූහ.
4උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔවුන් මැවූ තැනැන්වහන්සේ, පටන් ගැන්මේදී පුරුෂයා හා ස්ත්‍රිය වශයෙන් ඔවුන් සෑදූ වග ඔබ කියවා නැද්ද?#19:4 උත් 1;27 5උන්වහන්සේ කීවේ, ‘එබැවින් මිනිසෙක් තම පියා හා මව අතහැර තම භාර්යාවට බැඳෙයි’#19:5 උත් 2;24 කියායි. මෙසේ ඔවුන් දෙදෙනා එක මාංසයක් බවට පත් වන 6බැවින්, තවදුරටත් ඔවුහු දෙදෙනකු නො ව එක මාංසයක් වෙති. එබැවින් දෙවියන්වහන්සේ එකට එක් කළ දේ, මිනිසා විසින් වෙන් කරනු නො ලබත්වා!” යි පැවසූ සේක.
7“එසේ නම්, තම භාර්යාවට දික්කසාද සහතිකයක් දී, ඇය පිටත් කර යැවීමට මෝසෙස් නියෝග කළේ මන්දැ?” යි ඔවුහු ඇසූහ.
8යේසුස්වහන්සේ පිළිතුරු දෙන සේක්, “ඔබගේ භාර්යාවන් දික්කසාද කිරීමට මෝසෙස් ඔබට අවසර දුන්නේ, ඔබගේ හදවත්වල දැඩිකම නිසයි. එහෙත් පටන් ගැන්මේ සිට වූයේ එලෙස නො වේ. 9මා ඔබට කියන්නේ ලිංගික අනාචාරය නිසා හැර, තම භාර්යාව අත්හැර, අන් ස්ත්‍රියක ආවාහ කර ගන්නා කවරකු වුව, පරදාර සේවනයේ යෙදෙන්නේ යැ” යි පැවසූ සේක.
10එවිට උන්වහන්සේගේ ගෝලයෝ, “ස්වාමි පුරුෂයකු හා භාර්යාවක අතර තතු එසේ නම්, විවාහ නො වීම වඩා හොඳ යැ” යි උන්වහන්සේට කීහ.
11උන්වහන්සේ පිළිතුරු දෙමින්, “එය දෙන ලද අයට හැර, හැම කෙනකුට ම එය පිළිගත හැකි කීමක් නො වේ. 12මන්ද උපතින් ම නපුංසක වූවෝ වෙති. මිනිසුන් විසින් නපුංසක කරන ලද අය ද ස්වර්ග රාජ්‍යය උදෙසා තමන් ම නපුංසක ව සිටින අය ද වෙති. මෙය පිළිගත හැකි අය එලෙස පිළිගනිත්වා!” යි පැවසූ සේක.
යේසුස්වහන්සේ සහ කුඩා ළමයි
13එකල, ජනයා දරුවන් කැඳවාගෙන ආවේ, උන්වහන්සේ ඔවුන් පිට අත් තබා යාච්ඤා කරන පිණිස ය. එහෙත් ගෝලයෝ ජනයාට තරවටු කළහ.
14එහෙත්, “දරුවන්ට මා වෙත එන්නට ඉඩ හරින්න; ඔවුන් වළක්වන්න එපා; මන්ද ස්වර්ග රාජ්‍යය අයිති මෙබඳු වූවන්ට යැ” යි පැවසූ යේසුස්වහන්සේ 15ඔවුන් පිට අත් තැබූ සේක්, එතැනින් නික්ම ගිය සේක.
ධනවතා සහ දෙවියන්වහන්සේගේ රාජ්‍යය
16එවිට මෙන්න! යේසුස්වහන්සේ වෙත පැමිණි එක් මිනිසෙක්, “ගුරුතුමනි, සදාතන ජීවනය ලබා ගනු පිණිස මා කවර යහපතක් කළ යුතු දැ?” යි ඇසී ය.
17යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “යහපත කවරේදැයි මගෙන් අහන්නේ ඇයි? යහපත් ව සිටින්නේ එක් තැනැත්තාණන් කෙනකු පමණි. ජීවනයට ඇතුළු වීමට වුවමනා නම්, ආඥා පිළිපදින්නැ” යි කී සේක.
18“කවර ඒවා දැ?” යි ඔහු ඇසී ය.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ ‘මිනී නො මරනු, පරදාර සේවනය නො කරනු, සොරකම් නො කරනු, බොරු සාක්ෂි නො දෙනු, 19ඔබේ පියාට හා මවට ගරු කරන්න,#19:19 නික්ම 20:12-16; ද්වි 5:16-20 ඔබට මෙන් ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න’#19:19 ලෙවී 19;18 යන වශයෙනි” යි පැවසූ සේක.
20“ඒ සියල්ල මම පිළිපැද ඇත්තෙමි” යි පැවසූ තරුණයා, “මට තව අඩු කුමක් දැ?” යි ඇසී ය.
21යේසුස්වහන්සේ ඔහු අමතමින්, “සම්පූර්ණ වීමට ඔබට ඕනෑ නම්, ගොස්, ඔබ සතු දෑ විකුණා දිළිඳුන්ට දෙන්න. ඔබට ස්වර්ගීක ධනය අත්වනු ඇත. ඉන්පසු අවුත්, මා අනුගමන කරන්නැ” යි පැවසූ සේක.
22ඒ ඇසූ තරුණයා සොවට පත් ව, ඉවත් ව ගියේ ය. මන්ද ඔහු මහ ධනයක් හිමි ව සිටියේ ය.
23එවිට යේසුස්වහන්සේ තම ගෝලයින් අමතමින්, “සැබවින් ම මා ඔබට කියන්නේ, ධනවතකුට ස්වර්ග රාජ්‍යයට ඇතුළු විය හැක්කේ, මහත් අසීරුවෙන් පමණක් බවයි. 24නැවතත් මා ඔබට කියන්නේ, ධනවතකුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා, ඔටුවකුට ඉඳිකටු සිදුරින් රිංගා යෑම පහසු යැ” යි පැවසූ සේක.
25මේ ඇසූ ගෝලයෝ අතිශයෙන් විස්මිත ව, “එසේ නම් ගැලවෙන්නට හැක්කේ කවරකුට දැ?” යි ඇසූහ.
26එවිට ඔවුන් දෙස බැලූ යේසුස්වහන්සේ, “මිනිසුන්ට මෙය කොහෙත් ම කළ නො හැකි ය. එහෙත් දෙවියන්වහන්සේට සියල්ල පුළුවනැ” යි පැවසූ සේක.
27එවිට පේතෘස් පිළිතුරු දෙමින්, “බලන්න, අප හැම දෙයක් ම අත්හැර, ඔබ අනුගමන කළා; එහෙයින් මොනවද අපට ලැබෙන්නේ?” යි ඇසී ය.
28යේසුස්වහන්සේ ඔවුන්ට කියන සේක්, “සැබවින් ම මා ඔබට කියන්නේ, සියල්ල අලුත් කිරීමේදී, මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය තේජසේ සිංහාසනයේ හිඳ ගන්නා කල, මා අනුව ආ ඔබත් ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ දොළොස විනිශ්චය කරමින්, සිංහාසන දොළහක් මත හිඳ ගන්නා බවයි. 29තවද ගේ-දොර, සහෝදර-සහෝදරියන්, මව හෝ පියා හෝ දරුවන් හෝ ඉඩ කඩම් හෝ මගේ නාමය උදෙසා අත් හළ හැම කෙනකුට ම ඒ හා සිය ගුණයක් ලැබෙනු ඇත. සදාතන ජීවනය ද උරුම වනු ඇත. 30එහෙත් ප්‍රථමයින් වන බොහෝ දෙනෙක් අන්තිමයින් ද අන්තිමයින් බොහෝ දෙනෙක් ප්‍රථමයින් ද වනු ඇත.

Àwon tá yàn lọ́wọ́lọ́wọ́ báyìí:

මතෙව් 19: SCV

Ìsàmì-sí

Daako

Ṣe Àfiwé

Pín

None

Ṣé o fẹ́ fi àwọn ohun pàtàkì pamọ́ sórí gbogbo àwọn ẹ̀rọ rẹ? Wọlé pẹ̀lú àkántì tuntun tàbí wọlé pẹ̀lú àkántì tí tẹ́lẹ̀