Àmì Ìdánimọ̀ Ohun-èlò Bíbélì
Ṣe Àwárí

මතෙව් 20

20
මිදි වත්තේ සේවකයන් ගැන උපමාව
1“මන්ද ස්වර්ග රාජ්‍යය, තම මිදි වත්තේ වැඩට කම්කරුවන් කුලියට ගැනීමට අරුණ උදෙන් ම පිටත් වූ ඉඩම් හිමියකුට සමාන ය. 2කම්කරුවනට දිනකට ඩිනාරිය#20:2 ඩිනාරියක් යනු කම්කරුවකුගේ දිනක වැටුපකි. බැගින් දීමට එකඟ ව ඔහු ඔවුන් තම මිදි වත්තට යැවී ය.
3“තුන් වන පැයේ පමණ පිටතට ගිය ඔහු වැඩක් නැතිව කඩ-මණ්ඩියේ සිටගෙන සිටි තවත් අය දැක, 4ඔවුන් අමතා, ‘ඔබත් මිදි වත්තට යන්න. යුතු පරිදි මම ඔබට ගෙවන්නෙමි’ යි කීවේ ය. 5එවිට ඔවුහු ද එහි ගියහ.
“යළි හය වන පැයේ හා නව වන පැයේ පමණ ද පිටතට ගිය ඔහු එසේ ම කළේ ය. 6එකොළොස් වන පැයේ පමණ ද පිටතට ගිය ඔහු තවත් නිකරුණේ සිටගෙන සිටියවුන් දැක, ‘වැඩක් නැතිව දවස තිස්සේ මෙතැන හිටගෙන ඉන්නේ ඇයි දැ?’ යි ඔවුන්ගෙන් ඇසී ය.
7“ ‘කිසිවකු අප වැඩට නො ගත් නිසා යැ’ යි ඔවුහු කීහ.
“ ‘ඔබත් මිදි වත්තට යන්නැ’ යි ඔහු ඔවුනට පැවසී ය.
8“සවස් වූ කල තම කළමනාකරු ඇමතූ ඉඩම් හිමියා, ‘කම්කරුවන් කැඳවා, අන්තිමට ආ අයගෙන් පටන් ගෙන මුලින් ආ අය දක්වා ඔවුන්ගේ පඩිය ගෙවන්නැ’ යි කීවේ ය.
9“අවසන් පැයේදී වැඩට ගනු ලැබූ කම්කරුවෝ අවුත්, එක් කෙනකු ඩිනාරිය බැගින් ලදහ. 10මුලින් ම වැඩට ගනු ලැබූවෝ පැමිණ, තමනට වැඩියෙන් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වූහ. එහෙත්, ඒ හැමට ලැබුණේ ද එක් කෙනකුට ඩිනාරිය බැගිනි. 11එය ලබා ගත් ඔවුහු ඉඩම් හිමියාට එරෙහිව මැසිවිලි නගන්නට වී, 12‘අන්තිමට වැඩට ආ මේ මිනිසුන් වැඩ කළේ එක පැයක් පමණයි. එහෙත් දවසේ බර උසුලමින්, අධි උෂ්ණයත් දැරූ අපට ඔබ ඔවුන් සමාන කර ඇතැ’ යි කීහ.
13“එවිට ඔහු ඔවුන්ගෙන් කෙනකුට පිළිතුරු දෙමින්, ‘මිත්‍රය, මා ඔබට අසාධාරණයක් කරනවා නො වේ. ඩිනාරියකට වැඩ කරන්නට ඔබ එකඟ වූවා නො වේ ද? 14ඔබට හිමි දේ අරගෙන යන්න. ඔබට දුන් ලෙස ම අන්තිමට වැඩට ගත් මේ අයටත් ගෙවීම මගේ කැමැත්තයි. 15මට හිමි දෙයින් මා කැමති දෙයක් කරන්නට මට අයිතිය නැද්ද? නැතහොත් මගේ ත්‍යාගශීලීත්වය ගැන ඔබ ඊර්ෂ්‍යා කරනවා දැ?’ යි ඇසී ය.
16“මෙසේ අන්තිමයින් ප්‍රථමයින් ද ප්‍රථමයින් අන්තිමයින් ද වනු ඇතැ” යි පැවසූ සේක.
තම මරණය ගැන තෙවැනි වරටත් පැවසීම
17යෙරුසලම බලා ගමන් ගන්නා අතරේ යේසුස්වහන්සේ ගෝලයින් දොළොස් දෙනා පසෙකට කැඳවා, මඟදී ඔවුන් අමතමින්, 18“ඔන්න, අප දැන් යන්නේ යෙරුසලමටයි. එහිදී මනුෂ්‍ය පුත්‍රයා නායක පූජකයින් හා දහම් පඬිවරුන් අතට පාවා දෙනු ලබනු ඇත. ඔවුහු උන්වහන්සේ මරණයට තීන්දු කර, 19ඉන්පසු සරදම් කරන්නට, කස පහර දී කුරුසිපත් කරන්නට විදේශීන් අතට එතුමාණන් පාවා දෙනු ඇත. තුන් වන දවසේ උන්වහන්සේ යළි නැගිටුවනු ලබන සේකැ” යි පැවසූ සේක.
මවකගේ ඉල්ලීම
20ඉන්පසු සෙබදීගේ පුත්‍රයන්ගේ මව තම පුතුන් දෙදෙනා සමඟ උන්වහන්සේ වෙත පැමිණ, දණින් වැටී උන්වහන්සේගෙන් වරයක් ඉල්ලුවා ය.
21“ඔබට ඕනෑ මොනවා දැ?” යි උන්වහන්සේ ඇසූ සේක.
“ඔබගේ රාජ්‍යයේදී මගේ මේ පුතුන් දෙදෙනාගෙන් කෙනකු ඔබගේ දකුණු පැත්තේ ද අනෙකා ඔබගේ වම් පැත්තේ ද හිඳගන්නට වර දෙන්නැ” යි ඈ කීවා ය.
22යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ ඉල්ලන්නේ කුමක් ද කියා ඔබ දන්නේ නැත. මා බොන්නට යන කුසලානෙන් බොන්නට ඔබටත් පුළුවන් දැ?” යි ඇසූ සේක.
“අපට පුළුවනැ” යි ඔවුහු පිළිතුරු දුන්හ.
23එවිට යේසුස්වහන්සේ, “සැබවින් ම ඔබ මගේ කුසලාන පානය කරනු ඇත. එහෙත් මගේ දකුණු පස හෝ වම් පස හෝ හිඳ ගැනීමට දීම මා සතුවූවක් නො වේ. මගේ පියාණන්වහන්සේ කවරකු සඳහා ඒවා පිළියෙල කරන ලද සේක් ද ඒවා අයිති ඔවුනට යැ” යි පැවසූ සේක.
24දහ දෙනා ඒ වග ඇසූ කල ඒ සහෝදරයින් දෙදෙනා සමඟ උරණ වූහ. 25යේසුස්වහන්සේ ඔවුන් එකට කැඳවා, “අන්‍ය-ජාතිකයින්ගේ පාලකයෝ ඔවුන්ට ස්වාමිත්වය පාන බවත්, ඔවුන්ගේ උසස් නිලතල දරන්නෝ ඔවුන්ට අධිපතිකම් පාන බවත් ඔබ දන්නහු ය. 26එහෙත් ඔබ අතරේ එසේ නො විය යුතුයි. ඔබ අතරේ උත්තමයා, වන්නට කැමති තැනැත්තා ඔබගේ සේවකයා විය යුතුයි. 27මූලිකයා වෙන්නට කැමති තැනැත්තා ඔබගේ දාසයා විය යුතුයි. 28එසේ ම මනුෂ්‍ය පුත්‍රයාණන් සේවය ලබන්නට නො ව, සේවය කිරීමටත්, බොහෝ දෙනා උදෙසා වන්දියක් වශයෙන් තම ජීවිතය දීමටත් පැමිණියේ යැ” යි පැවසූ සේක.
අන්ධ මිනිසුන් දෙදෙනාට සුවය
29ඔවුන් යෙරිකෝවෙන් පිටත් ව යද්දී, විශාල ජනකායක් උන්වහන්සේ පස්සේ ගියහ. 30එවිට මෙන්න, පාර අයිනේ හිඳ සිටි අන්ධයින් දෙදෙනෙක්, යේසුස්වහන්සේ එතැන පසු කොට යන බැව් අසා, “ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට කරුණා කළ මැනව!” යි මොර ගසන්නට වන්හ.
31නිශ්ශබ්ද වන ලෙස ජනයා ඔවුනට තරවටු කළහ. එහෙත් ඔවුහු වඩ වඩා උස් හඬ නගමින්, “ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට අනුකම්පා කළ මැනව!” යි මොර ගැසූහ.
32යේසුස්වහන්සේ නැවතී, ඔවුනට අඬගසා, “මගෙන් ඔබට කෙරෙන්න ඕනෑ කුමක් දැ?” යි ඇසූ සේක.
33“ස්වාමිනි, අපගේ ඇස් ඇරිය මැනව” යි ඔවුහු කීහ.
34යේසුස්වහන්සේ ඔවුනට අනුකම්පා කළ සේක්, ඔවුන්ගේ ඇස් ස්පර්ශ කළහ. එකෙණෙහි ම ඔවුහු පෙනීම ලැබ, උන්වහන්සේ පස්සේ ගියහ.

Àwon tá yàn lọ́wọ́lọ́wọ́ báyìí:

මතෙව් 20: SCV

Ìsàmì-sí

Daako

Ṣe Àfiwé

Pín

None

Ṣé o fẹ́ fi àwọn ohun pàtàkì pamọ́ sórí gbogbo àwọn ẹ̀rọ rẹ? Wọlé pẹ̀lú àkántì tuntun tàbí wọlé pẹ̀lú àkántì tí tẹ́lẹ̀