ක්‍රියා 14
14
ඉකෝනියෙහි දී
1ඉකෝනියෙහි දී පාවුල් හා බාර්ණබස් යුදෙව් සිනගෝගයට ගොස් දේශනා කළහ. එහි ප්‍රතිඵලය වූයේ, යුදෙව්වරුන් හා ග්‍රීකයින් මහත් සංඛ්‍යාවක් අදහා ගැනීමයි. 2එහෙත් අදහා ගැනීම ප්‍රතික්ෂේප කළ සෙසු යුදෙව්වරු, විජාතිකයින් කලඹා, සහෝදරවරුනට එරෙහිව ඔවුන්ගේ සිත් දූෂ්‍ය කළහ. 3එහෙයින් පාවුල් හා බාර්ණබස් ස්වාමින්වහන්සේ උදෙසා නිර්භය ව කතා කරමින්, සෑහෙන කලක් එහිම ගත කළහ. අනුහස් ලකුණු ද හාස්කම් ද පෑමට ඔවුනට වර දෙමින්, ස්වාමින්වහන්සේ තම අනුග්‍රහයේ පණිවුඩය සහතික කළ සේක. 4නගර ජනයා දෙපිලකට බෙදිණි. සමහරු යුදෙව්වරුන්ගේ පිලට ද සෙසු අය අපෝස්තුලුවරුන්ගේ පිලට ද වන්හ. 5ඔවුන්ට හිරිහැර කර, ගල් ගසන්නට අන්‍ය-ජාතිකයින්, යුදෙව්වරුන් හා ඔවුන්ගේ නායකයින් අතර කුමන්ත්‍රණයක් විය. 6එහෙත් ඒ වග දැනගත් ඔවුහු, ඒ නගරයෙන් පලා ගොස්, ලුස්ත්‍රා හා දර්බය යන ලුකොනියාවේ නගරවලට ද ඒ අවට පළාත්වලට ද සේන්දු වී, 7එහිදී ද ශුභාරංචිය දේශනා කළහ.
ලුස්ත්‍රා සහ දර්බයේ
8ලුස්ත්‍රා වැසියකු වූ උපතින් ම දෙපා දුබල, කිසි දිනෙක ඇවිද නැති කොර මිනිහෙක් වාඩිගෙන, 9පාවුල්ගේ දේශනයකට කන් දෙමින් සිටියේ ය. පාවුල් එක එල්ලේ ඔහු දෙස බැලූ කල, සුවය ලැබීමට ඔහුට ඇදහිල්ල ඇති වග දැක, 10“දෙපයින් නැගී සිටිනු” යි උස් හඬින් පැවසී ය. එවිට ඒ මිනිසා උඩ පැන, ඇවිදින්නට වන්නේ ය.
11පාවුල් කළ ඒ අරුමය දුටු ජන සමූහයා, “මෙන්න! දෙවිවරු මිනිස් වෙසින් අප වෙත බැස ඇවිත්” කියමින් ලුකෝනියානු බසින් ඝෝෂා කළහ. 12ඔවුහු බාර්ණබස්ට සියුස් කියා ද ප්‍රධාන කතික පාවුල්ට හර්මීස් කියා ද ඇමතූහ. 13නගර සීමාවෙන් ඔබ්බෙහි පිහිටි සියුස්ගේ දේවාලය භාර කපුවා ගොනුන් ද මල්මාලා ද රැගෙන නගර දොරටුව වෙත ආවේ, ජන සමූහයා සමඟ ඔවුන්ට යාගයක් පිදීමේ අටියෙනි.
14එහෙත් අපෝස්තුලුවර බාර්ණබස් හා පාවුල් ඒ අසා, තම හැඳිවත් ඉරාගෙන, හනික සමූහයා අතරට වැද, මොර ගසමින්, 15“මිනිසුනේ, මොනවද මේ කරන්නේ? අපත් නුඹලා වගේ මිනිස්සු පමණයි. අප ආවේ, ‘කිසි ප්‍රයෝජනයක් නැති ඔවැනි දේට පිටුපා, අහසත්, පොළොවත්, මුහුදත් එහි ඇති සියල්ලත් මැවූ ජීවමාන දෙවියන්වහන්සේ වෙත හැරෙන්න’ යන ශුභාරංචිය ඔබට කියන්නටයි. 16පසුගිය පරම්පරාවලදී ඒ ඒ ජාතීනට තම තමන්ගේ මාර්ගවල යන්නට උන්වහන්සේ ඉඩ හැරියා. 17එහෙත් එකල ද තමන්වහන්සේ ගැන සාක්ෂි දැරීම අත්හරින්නේ නැතිව, අහසින් වැස්ස එවා, නිසි කල අස්වනු දීමෙන් ද බහුල ලෙස ආහාර සැපයීමෙන් හා ඔබගේ සිත් සොම්නසින් පුරවමින් ද උන්වහන්සේ ඔබට කරුණාව පෑවා” යි කීවේ ය. 18එහෙත් ඒ වචනවලින් පවා තමනට පූජා ඔප්පු කිරීමෙන්, ජනතාව වැළැක්වීම ඔවුනට හැකි වූයේ මහත් අසීරුවෙනි.
19එකල අන්තියෝකියෙන් හා ඉකෝනියෙන් පැමිණි යුදෙව්වරුන් ඇතැම් දෙනෙක් ජනයා තම පැත්තට නම්මාගෙන, පාවුල්ට ගල් ගැසූහ. පසුව, ඔහු මළේයැයි සිතූ ඔවුහු, නගරයෙන් පිටතට ඔහු ඇද දැමූහ. 20එහෙත් ගෝලයින් පැමිණ, ඔහු වට කොට ගත් කළ, යළි නැගී සිටි පාවුල් ආපසු නගරයට අවුත්, පසුව දා බාර්ණබස් සමඟ දර්බය බලා පිටත් විය.
අන්තියෝකියට යළි පැමිණීම
21ඒ නගරයේ ශුභාරංචිය දේශනා කළ ඔවුහු, බොහෝ දෙනකු ගෝලයින් බවට හැරවූහ. ඉන්පසු ලුස්ත්‍රා, ඉකෝනිය හා අන්තියෝකිය වෙත හැරී ආ ඔවුහු, 22ගෝලයින්ගේ සිත් සවිමත් කරමින්, ඇදහිල්ලේ ස්ථිර ව පවතින්නට ඔවුන් දිරිමත් කළහ. “දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට අප මහත් දුෂ්කරතා මැදින් යා යුතු ව ඇතැ” යි ඔවුහු කීහ. 23එක් එක් සභාව සඳහා සභා-මූලිකයින් පත් කළ පාවුල් හා බාර්ණබස්, නිරාහාර ව සිට, යාච්ඤා කොට තමන් විශ්වාසය තැබූ ස්වාමින්වහන්සේට ඔවුන් භාර කළහ. 24පිසිදිය හරහා ගමන් කළ ඔවුහු පම්පිලිය වෙත පැමිණියහ. 25පර්ගාහි වචනය දේශනා කළ ඔවුහු එතැනින් අත්තාලියා වෙත ගියහ.
26එතැනින් නැව් නැගුණු ඔවුහු, ආපසු අන්තියෝකිය බලා යාත්‍රා කළහ. ඔවුන් විසින් ඉටු කරන ලද සේවාව සඳහා දෙවියන්වහන්සේගේ අනුග්‍රහයට ඔවුන් කැප කරන ලද්දේ මෙහිදී ය. 27එහි ළඟා වූ ඔවුහු එහි සභාව රැස් කරවා, දෙවියන්වහන්සේ විසින් තමන් ලවා කරවන ලද සියල්ල ද ඇදහිල්ල කරා අන්‍ය-ජාතීන්ට මගක් හෙළි කර දුන් අයුරු ද විස්තර කළහ. 28පාවුල් හා බාර්ණබස් එම ගෝලයින් සමඟ බොහෝ කලක් නැවතී සිටියහ.
Nke Ahọpụtara Ugbu A:
ක්‍රියා 14: SCV
Mee ka ọ bụrụ isi
Mapịa
Lee anya n'etiti ihe abụọ
Kesaa
Ịchọrọ ka echekwaara gị ihe ndị gasị ị mere ka ha pụta ìhè ná ngwaọrụ gị niile? Debanye aha gị ma ọ bụ mee mbanye
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.