Logò Ngwá Baịbụl
Akara Eji Eme Ọchịchọ

ක්‍රියා 16

16
තිමෝති පාවුල් හා සීලස් සමඟ එක් වීම
1පාවුල් දර්බයටත් එතැනින් ලුස්ත්‍රාවටත් පැමිණියේ ය. ලුස්ත්‍රාවෙහි තිමෝති නම් ගෝලයෙක් විසී ය. ඔහුගේ මව යුදෙව් ජාතික ඇදහිලිවන්තියක වූ නමුදු පියා ග්‍රීකයෙකි. 2ලුස්ත්‍රාවෙහි හා ඉකෝනියෙහි විසූ සහෝදරයෝ තිමෝති ගැන ගුණ කීහ. 3තිමෝති ද ගමනට සහභාගි කරවා ගැනීමට පාවුල්ට ඕනෑ විය. එබැවින් පාවුල්, ඔහු චර්මඡේද කළේ ය. එසේ කළේ, ඒ පෙදෙස්හි විසූ යුදෙව්වන් නිසා ය. ඔහුගේ පියා ග්‍රීකයකු වග ඒ හැම දැන සිටි හෙයිනි. 4යෙරුසලමේ අපෝස්තුලුවරුන් හා සභා-මූලිකයන් විසින් පනවන ලද නියෝග පිළිපැදීම ඔවුන්ට භාර කරමින්, ඔවුහු නගරයෙන් නගරයට ගමන් කළහ. 5මෙසේ ඒ ඒ නගරවල සභා ඇදහිල්ලේ සවිමත් වෙමින්, දිනපතා ගණනින් ද වැඩෙන්නට විය.
මකිදෝනියේ කැඳවීම
6ආසියා කලාපයේ වචනය කතා කිරීම ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් තහනම් කරන ලදුව, ඔවුහු පිරිගිය හා ගලාතිය පෙදෙස් ඔස්සේ ගමනේ යෙදුණහ. 7මිසියේ සීමාවට පැමිණි ඔවුහු බිතිනිය වෙත යන්නට උත්සාහ ගත් නමුදු, යේසුස්වහන්සේගේ ආත්මයාණෝ ඊට ද ඉඩ නුදුන් සේක. 8එබැවින් ඔවුහු මිසිය පසු කොට ත්‍රෝවස වෙත පැමිණියහ. 9රාත්‍රියේ පාවුල් දර්ශනයක් දිටී ය. මකිදෝනියෙහි වැසියකු සිටගෙන, “මකිදෝනිය වෙත අවුත් අපට උපකාර කරන්නැ” යි උදක් ම ඉල්ලනු ඔහුට පෙනිණි. 10පාවුල් දුටු දර්ශනය මගින් මකිදෝනිය වැසියනට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට දෙවියන්වහන්සේ අප කැඳවතැයි නිගමනය කළ අපි වහා මකිදෝනිය බලා පිටත් වන්නට සූදානම් වීමු.
ලිදියාගේ හැරීම
11ත්‍රෝවසෙන් නැව් නැගී අපි කෙළින් ම සමෝත්‍රාසයට ද ඉන්පසු දින නෙයාපොලිසට ද යාත්‍රා කළෙමු. 12එතැනින් රෝම ජනපදයක් ද මකිදෝනියේ දිස්ත්‍රික්කයක ප්‍රධාන නුවරක් වූ පිලිප්පිය වෙත සේන්දු වී, ටික දවසක් එහි ගත කළෙමු.
13නගර දොරටුවෙන් පිටත ගඟබඩ යාච්ඤා මෙහෙයක් පැවැත්වෙන තැනක් ඇතැයි අප සිතූ බැවින්, සබත් දවසේ එහි ගොස්, එහි රැස් ව සිටි ස්ත්‍රීන් අතර හිඳ, අපි ඔවුන් ඇමතුවෙමු. 14අපට සවන් දෙමින් සිටියවුන් අතරේ ලිදියා නම් ස්ත්‍රියක් වූවා ය. තියාතිරා වාසී ඈ, දම් පැහැ සළු පිළි ව්‍යාපාරිකාවකි; දෙවියන්වහන්සේට වන්දනාමාන කළ තැනැත්තියකි. පාවුල් දෙසූ පණිවුඩයට අනුකූලතා දැක්වීමට දෙවියන්වහන්සේ ඇගේ හද විවර කළ සේක. 15එබැවින් ඇය ද ඇගේ ගෘහ වාසීන් ද බව්තීස්ම ලද පසු ඈ, “මා සැබවින් ම ස්වාමින්වහන්සේ අදහන්නියකැයි ඔබ ඒත්තුගන්නේ නම්, අවුත් මගේ නිවසේ නවාතැන් ගන්නැ” යි අපට ඇරියුම් කර, අප ඊට කැමති කරවා ගත්තා ය.
පාවුල් සහ සීලස් සිරගත කරනු ලැබීම
16වරක්, යාච්ඤා පැවැත්වෙන තැනට අප යද්දී එක් වහල් කෙල්ලක් අපට මුණ ගැසිණි. පේන කීමේ ආත්මයක් වැහී සිටි ඈ ශාස්ත්‍ර කීමෙන් ඇගේ හාම්පුතුනට මුදල් සම්භාරයක් ම උපයා දුන්නා ය. 17මෙම තරුණිය, පාවුල් ඇතුළු අප පසු පස එමින්, “ගැලවීමේ මාර්ගය ඔබට පවසන මොවුන් මහෝත්තම දෙවියන්වහන්සේගේ දාසයින් යැ” යි මොර දුන්නා ය. 18බොහෝ දවසක් ඇය මෙසේ කළ පසු, ඉන් උරණ වූ පාවුල්, තරුණිය දෙස ආපසු හැරී, යක්ෂාත්මය අමතා, “මැය වෙතින් දුරුව යන ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් මම නුඹට අණ කරමි” යි කීවේ ය. එකෙණෙහි ම ඒ යක්ෂාත්මය ඇගෙන් දුරුව ගියේ ය.
19එවිට ඇගේ හාම්පුත්තු, ලාභ ඉපැයීමේ තම බලාපොරොත්තු ගිලිහී ගිය බැව් දැක, පාවුල් හා සීලස් බලෙන් ම අල්ලා, වෙළඳ පොළට ඇදගෙන ගොස්, නිසි බලධාරීන් වෙත පැමිණ වූහ. 20ඉන්පසු විනිසුරුවන් වෙත ඔවුන් ගෙන ගිය ඔවුහු, “මොවුන් යුදෙව්වො; මොවුන් අප නගරයේ මහ කැලඹීමක් ඇති කරමින් 21රෝමවරුන් වූ අපට පිළිගැනීමට හා පිළිපැදීමට නීති විරෝධී චාරිත්‍ර උගන්වනවා” යි කීහ.
22ඔවුන්ට පහර දීමට සමූහයා ද එක් වූහ. එවිට ඔවුන් දෙදෙනාගේ හැඳිවත් ඉරා, ඔවුන් කෝටු මස් කරන ලෙස විනිසුරුවෝ නියෝග කළහ. 23මෙසේ ඉතා දැඩි සේ කෝටු පහර දෙනු ලැබූ පසු, ඔවුහු සිර ගෙයි දමනු ලැබූහ. පරෙස්සමින් ඔවුන් මුර කරන ලෙසට සිරගෙදර නිලධාරියා අණ ලැබී ය. 24එවැනි අණක් ලද බැවින්, ඔවුන් ඇතුළු සිර කුටියක ලූ හෙතෙම ඔවුන්ගේ පා දඬු කඳේ ගැසී ය.
25රෑ මැදියමේ පමණ පාවුල් හා සීලස් යාච්ඤා කරන්නටත්, දෙවියන්වහන්සේට ගී ගයන්නටත් වූ අතර අනෙක් සිරකරුවෝ ඊට සවන් දෙමින් සිටියහ. 26හදිසියේ ම සිර ගෙයි අත්තිවාරම් දෙදරවමින් තදබල භූමිකම්පාවක් විය. සිරගෙදර දොරවල් සියල්ල එක්වන ම ඇරී ගියේ ය. සිරකරුවන් සැමගේ බැඳි බැඳුම් ද ලිහී ගියේ ය. 27සිර ගෙයි නිලධාරියා අවදි විය. සිර ගෙයි දොරවල් ඇරී තිබෙනු දුටු ඔහු, සිරකරුවන් පැන යන්නට ඇතැයි සිතා සිය දිවි හානිකර ගන්නට තම අසිපත අතට ගත්තේ ය. 28එසැණේ ම, “කිසි අනතුරක් කර ගන්න එපා! අප සැවොම මෙහි සිටිනවා” යි පාවුල් කෑගැසී ය.
29එවිට, පන්දම් ඉල්ලා ගත් නිලධාරියා වහ වහා ඇතුළු සිර කුටියට වැද, වෙවුලමින් පාවුල් හා සීලස් ඉදිරියේ දණින් වැටුණේ ය. 30ඉන්පසු සිර මැදිරියෙන් පිටතට ඔවුන් කැඳවාගෙන අවුත්, “මහත්වරුනි, ගැලවීම ලබන පිණිස මා කුමක් කළ යුතු දැ?” යි විමසී ය.
31ඔවුහු පිළිතුරු දෙමින්, “යේසුස් ස්වාමින්වහන්සේ අදහා ගන්න. එවිට ඔබ ගැලවීම ලබනු ඇත; ඔබත් ඔබේ ගෙයි වැසි සියල්ලොත් යැ” යි පැවසූහ. 32ඔවුහු ඉන්පසු ඔහුටත්, ඔහුගේ නිවසේ සෙසු සියල්ලන්ටත් ස්වාමින්වහන්සේගේ වචනය පහදා දුන්හ. 33සිර ගෙයි නිලධාරියා ඒ රැයේ, ඒ පැයේ ම ඔවුන් දෙදෙනාගේ තැළුම් තුවාල සේදුවේ ය. ඒ සමඟ ම ඔහුත්, ඔහුගේ ගෙයි වැසි සියල්ලොත් බව්තීස්ම ලදහ. 34ඉන්පසු ඔවුන් සිය නිවසට කැඳවූ සිර ගෙයි නිලධාරියා, ඔවුනට ආහාර පානාදියෙන් සංග්‍රහ කළේ ය. දෙවියන්වහන්සේ අදහා ගන්නට ලැබුණ බැවින් ඔහුත්, ඔහුගේ මුළු ගෘහවාසීනුත් සිටියේ ප්‍රීතියෙන් උතුරමිනි.
35දවස උදා වෙද්දී විනිසුරුවෝ, “ඒ මිනිසුන් නිදහස් කරනු” යන නියෝගය රැගත් බලධාරීන් සිරගෙදර නිලධාරියා වෙත යැවූහ. 36එවිට පාවුල් ඇමතූ සිර ගෙයි නිලධාරියා, “ඔබ දෙපොළ නිදහස් කරන්නැයි විනිසුරුවන් නියෝගයක් එවලා; දැන් මින් පිට වී යෑමට ඔබට පුළුවනි; සමාදානයෙන් යන්නැ” යි පැවසී ය.
37එහෙත් පාවුල් ඔවුන්ට පිළිතුරු දෙමින්, “අප රෝම පුරවැසියන් ව සිටියදීත්, නඩු විභාගයකින් තොර ව, ඔවුන් අපට ප්‍රසිද්ධියේ ම තැලුවා; සිර ගෙයි ද දැමුවා. දැන් ඔවුන්ට උවමනා වී ඇත්තේ හොර රහසේ ම අප නිදහස් කර හරින්නට ද? නෑ; එහෙම බැහැ; ඔවුන් ම ඇවිත් අප පිටතට ගෙන ගියා වේ” යි කීවේ ය.
38නිලධාරීහු ඒ වග විනිසුරුවන්ට සැල කළහ. පාවුල් හා සීලස් රෝම පුරවැසියනැයි ඇසූ විනිසුරුවෝ තැති ගත්හ. 39එබැවින් ඔවුහු සිර ගෙදරට අවුත්, ඔවුනට කණගාටුව ප්‍රකාශ කර, ඔවුන් දෙදෙන සිර ගෙයින් පිටතට කැඳවාගෙන අවුත් ඒ නගරයෙන් පිට මං ව යන ලෙස ඉල්ලූහ. 40සිර ගෙයින් පිටතට ආ පාවුල් හා සීලස් ලිදියාගේ නිවසට ගියහ. එහිදී හමු වූ සහෝදරයින් දිරිගැන්වූ ඔවුහු පිටත් ව ගියහ.

Nke Ahọpụtara Ugbu A:

ක්‍රියා 16: SCV

Mee ka ọ bụrụ isi

Mapịa

Lee anya n'etiti ihe abụọ

Kesaa

None

Ịchọrọ ka echekwaara gị ihe ndị gasị ị mere ka ha pụta ìhè ná ngwaọrụ gị niile? Debanye aha gị ma ọ bụ mee mbanye