ක්‍රියා 17
17
තෙසලෝනිකයේ සේවය
1ඔවුහු අම්පිපොලිස හා අපොලෝනිය පසු කොට, යුදෙව් සිනගෝගයක් තිබූ තෙසලෝනිකය වෙත පැමිණියහ. 2පාවුල් සුපුරුදු ලෙස එම සිනගෝගයට ගොස්, සබත් දවස් තුනක් ම ඔවුන් සමඟ තර්ක කළේ ය. ඔහු ශුද්ධ ලියවිලි පාඨ ගෙන හැර පාමින්, 3ක්‍රිස්තුස්වහන්සේ පීඩා විඳින්නටත්, මළවුන්ගෙන් නැගිටින්නටත් නියම ව සිටි වග සනාථ කරමින්, ඔවුන්ට කරුණු පැහැදිලි කළේ ය. තවද, “මා ඔබට ප්‍රකාශ කරන මේ යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ ම යැ” යි පැවසී ය. 4ඔවුන්ගෙන් ඇතමකුට ඒ කියමන ඒත්තු ගන්වන ලදින්, ඔවුහු පාවුල්ට හා සීලස්ට එකතු වූහ. දේව භක්තික ග්‍රීක ජාතිකයින් බොහෝ දෙනෙක් ද කුල ස්ත්‍රීන් කීප දෙනෙක් ද එසේ ම ඔවුන්ට එක් වූහ.
5එහෙත් යුදෙව්වරු ඊර්ෂ්‍යාවෙන් යුතු ව, මග තොට හුන් මැරවරයින් කීප දෙනෙක් කැඳවා, දාමරික කල්ලියක් හදා නගරය තුළ කැලඹීම් ඇති කරන්නට වන්හ. ඔවුහු පාවුල් හා සීලස් අල්ලා, සමූහයා ඉදිරියට ගෙන යෑමේ අදිටනින් ඔවුන් සොයා ජේසන්ගේ නිවසට කඩා වැදුණහ. 6එහෙත් එහිදී ඔවුන් හමු නො වූ බැවින්, ඔවුහු ජේසන් ද සහෝදරයින් තවත් කීප දෙනකු ද අල්ලා, නගර බලධාරීන් වෙත ඔවුන් ගෙන යමින් කෑ මොර දෙන්නට වන්හ, “ලොව හැම තැන පෙරළි ඇති කළ මිනිස්සු මෙන්න! දැන් මෙහාටත් ඇවිල්ලා. 7මේ ජේසන් ඔහුගේ නිවසේ ම ඔවුන්ට නවාතැන් දීලා. මොවුන් සැවොම සීසර්ගේ නියෝගවලට විරුද්ධ ව යේසුස් නමින් වෙනත් රජෙක් ඇතැයි කියනවා” යි කීහ. 8ඒ ඇසූ ජන සමූහයා ද නගර බලධාරීහු ද මහත් ගාලගෝට්ටියකට මැදි වූහ. 9ඉන්පසු නගර බලධාරීහු ජේසන්ගෙන් හා අනෙක් සහෝදරයින්ගෙන් ඇප-මුදල් ගෙන ඔවුන් නිදහස් කළහ.
බෙරියාහි දී
10රෑ වූ විගස සහෝදරයෝ පාවුල් හා සීලස් බෙරියා වෙත පිටත් කළහ. බෙරියා වෙත පැමිණි ඔවුහු, එහි යුදෙව් සිනගෝගයට ගියහ. 11බෙරියයෝ තෙසලෝනිකයින්ට වඩා මහත්මා ගති ඇත්තෝ වූහ. පණිවුඩය බලවත් ඕනෑකමින් පිළිගත් ඔවුහු පාවුල් කී දෑ සත්‍යදැයි බලන්නට දිනපතා ශුද්ධ ලියවිලි පිරික්සූහ. 12මෙසේ යුදෙව්වරු බොහෝ දෙනෙක් අදහා ගත්හ. ග්‍රීක කුල ස්ත්‍රීන් කීප දෙනෙක් මෙන් ම ග්‍රීක මිනිසුන් මහත් ගණනාවක් ද අදහා ගත්හ.
13පාවුල් බෙරියාහි දෙවියන්වහන්සේගේ වචනය දේශනා කරන වග ඇසූ තෙසලෝනිකයේ යුදෙව්වරු එහි ද ගොස් සමූහයා කලඹා කලබල ඇති කරන්නට වන්හ. 14එබැවින් සහෝදරයෝ ඒ විගස පාවුල් මුහුදු වෙරළට පිටත් කර යැවූහ. එහෙත් සීලස් හා තිමෝති බෙරියාහි නතර වූහ. 15පාවුල් ඇරලීමට ගිය අය ඇතන්ස් නගරය දක්වා ම ඔහු හා ගියහ. ඔවුන් ආපසු හැරී ආවේ, හැකි ඉක්මනින් තමා හා එක් වන ලෙස සීලස්ටත්, තිමෝතිටත් ඔහු දුන් උපදෙස් ද රැගෙන ය.
ඇතන්ස්හි දී
16ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් පාවුල් ඇතන්ස්හි නතර ව සිටියදී, නගරය පුරා දේව පිළිම දක්නට ලැබීමෙන් ඔහුගේ ආත්මය මහත් සේ සසල විය. 17එබැවින් ඔහු සිනගෝගයේදී යුදෙව්වරුන් හා දේව භක්තික ග්‍රීකයින් සමඟ ද වෙළඳ පොළට දිනපතා ගොස්, එහිදී ඔහුට හමුවූවන් සමඟ ද තර්ක කළේ ය. 18එහිදී එපිකූරිය හා ස්තෝයික දාර්ශනිකයින් කණ්ඩායමක් ද ඔහුට මුණ ගැසුණහ. ඔවුන්ගෙන් ඇතමෙක්, “මේ වාචාලයා කියන්නට අර අඳින්නේ මොනවා දැ?” යි පැවසූහ. සෙසු අය අදහස් දක්වමින්, “මොහු විදේශ දෙවිවරුන් ප්‍රචාරය කරන්නකු සේ පෙනේ” යි කීහ. එසේ කීවේ, පාවුල් යේසුස්වහන්සේ ගැන ද මරණින් නැගිටීම ගැන ද දේශනා කළ බැවිනි. 19එබැවින් ඔවුහු අරියෝපග රැස්වීම් සභාවට පාවුල් අල්ලාගෙන ගොස්, “ඔබ හඳුන්වා දෙන මේ අලුත් ඉගැන්වීම අපටත් දැනගත හැකි ද? 20ඔබ දෙසන සමහර අදහස් අපේ කන්වලට හරි අමුතුයි. එනිසා ඒවායේ අර්ථ දැනගැනීමට අප කැමතියි” පැවසූහ. 21සියලු ඇතන්ස්වරුන් ද එහි විසූ විදේශීන් ද ඔවුන්ගේ මුළු කාලය ම පාහේ ගත කළේ, නවතම මත අදහස් පල කරමින් හා ඒවාට සවන් දෙමින් මිස, අන් හැටියකින් නො වේ.
22එවිට පාවුල් අරියෝපග රැස්වීම් සභාව ඉදිරියේ නැගිට, මෙසේ පැවසී ය: “ඇතන්ස්හි මිනිසුනි! ඔබ හැම අතින් ම ආගම දහමට ලැදි අය බව මට පෙනේ. 23ඔබේ නමස්කාරයට පාත්‍ර වූ වස්තූන් ඕනෑකමින් බලමින් මා ඒ මේ අත යද්දී, නාම පුවරුවක් ඇති පූජාසනයක් දැක්කා:
නාඳුනන දෙවියකුට ය.
දැන් මා ඔබට ප්‍රකාශ කරන්නට යන්නේ එසේ නෑඳින ඔබ නමස්කාර කරන දේ ගැනයි.
24“ලෝකයත් එහි ඇති සියල්ලත් සෑදූ දෙවියන්වහන්සේ ස්වර්ගයේත්, පොළොවේත් ස්වාමින්වහන්සේ බැවින්, උන්වහන්සේ මිනිස් අතින් සාදන මාලිගාවල නො වසන සේක. 25හැම සතහට ජීවනය ද හුස්ම ද අන් සියලු දේ ද සපයා දෙන උන්වහන්සේ යම් හිඟකමක් ඇති කෙනකු සේ මිනිස් අත්වලින් ඇප උපස්ථාන නො ලබන සේක. 26මුළු පොළෝ තලය මත වාසය කරන පිණිස, උන්වහන්සේ එක් මිනිසකුගෙන් ලොව හැම මිනිස් ජාතියක් ම මැවූ සේක්, ඔවුන් සිටිය යුතු කාල වකවානු ද විසිය යුතු ස්ථාන සීමාවන් ද නියම කළ සේක. 27එසේ කළේ, මිනිසුන් දෙවියන්වහන්සේ සොයා, අතපත ගාමින් හෝ උන්වහන්සේ හමුවන පිණිස ය. එසේ වුව ද උන්වහන්සේ සිටින්නේ, අප හැම කෙනකුට ම ඈතින් නො වේ. 28මන්ද, ‘අප ජීවත් වන්නේත්, හැසිරෙන්නේත්, අපේ පැවැත්ම ඇත්තේත් උන්වහන්සේ තුළ යැ’ යි ඔබේ ම කවීන් කියා ඇති පරිදි, ‘උන්වහන්සේගේ දරුවෝ අප ය.’#17:28 ක්‍රෙටන් දාර්ශනිකයකු වන එපිමෙනිඩෙස්ගෙනි
29“එබැවින් අප, දෙවියන්වහන්සේගේ දරුවන් නම්, මිනිස් සැලැස්මෙන් හා නිපුණත්වයෙන් නෙළන ලද රන්, රිදී හෝ ගල් රූපයකට දේව ස්වභාව සමාන යයි නො සිතිය යුතුයි. 30නො දැනුවත්කමේ කාලවලදී දෙවියන්වහන්සේ ඒ ගැන නො සැලකූ නමුත් දැන් හැම තැන, හැම ජන කොටසකට ම පසුතැවිලි වන්නට අණ කරන සේක. 31මන්ද තමන් විසින් තෝරා ගන්නා ලද මනුෂ්‍යයා ලවා උන්වහන්සේ ලෝකයා ධර්මිෂ්ඨ ව විනිශ්චය කරන දවසක් දෙවියන්වහන්සේ ම නියම කොට තිබේ. එම මනුෂ්‍යයා මළවුන්ගෙන් නැගිටුවීම තුළින් උන්වහන්සේ සකල ජනයාට ම මේ සම්බන්ධ ව සහතිකයක් දී තිබේ.”
32මළවුන්ගෙන් නැගිටීම ගැන ඇසූ ඔවුන්ගෙන් ඇතමෙක් සමච්චල් කරන්නට වන්හ. එහෙත් සෙසු අය, “මේ සම්බන්ධ ව නැවතත් ඔබ කතා කරනවා අසන්නට අප කැමතියි” කීහ. 33මේ අවස්ථාවේ පාවුල් රැස්වීමෙන් ඉවත් ව ගියේ ය. 34ස්වල්ප දෙනෙක් ඔහුට එකතු වී අදහා ගත්හ. අරියෝපග සාමාජික දියෝනිසියස් ද දමරිස් නම් වූ ස්ත්‍රියක් ද තවත් ගණනාවක් ද ඒ අතර වූහ.
Nke Ahọpụtara Ugbu A:
ක්‍රියා 17: SCV
Mee ka ọ bụrụ isi
Mapịa
Lee anya n'etiti ihe abụọ
Kesaa
Ịchọrọ ka echekwaara gị ihe ndị gasị ị mere ka ha pụta ìhè ná ngwaọrụ gị niile? Debanye aha gị ma ọ bụ mee mbanye
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.