ක්‍රියා 19
19
එපීසයෙහි දී
1අපොල්ලොස් කොරින්තියෙහි සිටියදී, පාවුල් රට මැද්දෙන් ගමන් කර, එපීසය වෙත ළඟා විය. එහිදී ඔහුට ගෝලයින් ඇතමකු හමු වී, 2ඔවුන් අමතමින්, “ඔබ, යේසුස්වහන්සේ අදහාගත් කල ශුද්ධාත්මයාණන් ලැබුවේ දැ?” යි ඇසී ය.
ඔවුහු පිළිතුරු දෙමින්, “නැහැ; ශුද්ධාත්මයාණන් කියා කෙනකු සිටින වග අප අහලාවත් නැතැ” යි කීහ.
3“එසේ නම් ඔබ ලැබුවේ කවර බව්තීස්මයක් දැ?” යි පාවුල් ඇසී ය.
“යොහන්ගේ බව්තීස්මය” යැයි ඔවුහු පිළිතුරු දුන්හ.
4එවිට පාවුල්, “යොහන්ගේ බව්තීස්මය පසුතැවිල්ලේ බව්තීස්මයකි. ඔහු ජනතාවට කීවේ තමාට පසුව එන තැනැත්තාණන් අදහා ගන්නා ලෙසයි. ඒ යේසුස්වහන්සේ යැ” යි පැවසී ය. 5ඒ ඇසූ ඔවුහු යේසුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්ම කරන ලදහ. 6ඉන්පසු පාවුල් ඔවුන් පිට අත් තැබූ කල්හි, ශුද්ධාත්මයාණෝ ඔවුන් කරා පහළ වූ සේක. එවිට ඔවුහු අන්‍ය භාෂාවලින් කතා කරන්නටත්, දිවැස් වැකි පවසන්නටත් වන්හ. 7ඔවුන් සියල්ලෝ මිනිසුන් දොළොස් දෙනෙක් පමණ වූහ.
8පාවුල් සිනගෝගයට ගොස්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන නිර්භීත ව වාද කරමින් හා සිත් පොලඹවන අයුරින් තුන් මසක් කතා කළේ ය. 9එහෙත් ඔවුන්ගෙන් ඇතමෙක් අදහා ගැනීම ප්‍රතික්ෂේප කරමින්, මුරණ්ඩු ව ඒ ධර්ම-මාර්ගයට අවමන් කළහ. එවිට පාවුල් ඔවුන්ගෙන් වෙන් ව, ගෝලයින් කැටිව, තුරානස්ගේ දේශන ශාලාවෙහි දිනපතා තර්ක කරමින් සිටියේ ය. 10දෙවසරක කාලයක් එලෙසින් සිදු විය. මෙසේ ආසියා කලාපයේ විසූ යුදෙව් හා ග්‍රීක ජාතිකයින් හැම දෙනා ස්වාමින්වහන්සේගේ වචනය ඇසූහ.
11දෙවියන්වහන්සේ පාවුල් මගින් අසාමාන්‍ය හාස්කම් සිදු කළ සේක. 12පාවුල්ගේ ස්පර්ශය ලද ලේන්සුවක් හෝ රෙදි කඩක් හෝ වුව ද, රෝගීන් වෙත ගෙන ගිය කල, ඔවුන්ගේ රෝග දුරු විය. යක්ෂාත්මයෝ ද ඔවුන්ගෙන් දුරු වූහ.
13තැන තැන යමින් යකැදුරුකම් කළ යුදෙව්වරුන් ඇතමෙක්, යක්ෂාත්මාවේශවූවන්ට යේසුස් ස්වාමින්වහන්සේගේ නාමය කියන්නට භාරගෙන, “පාවුල් දේශනා කරන යේසුස්වහන්සේගේ නාමයෙන් දුරුව යන ලෙස මම නුඹට අණ කරමි” යි කියන්නට වන්හ. 14ස්කෙවා නම් වූ ප්‍රධාන යුදෙව් පූජකයකුගේ පුතුන් හත්දෙනා එසේ කරන්නට වන්හ. 15එවිට දුෂ්ටාත්මය පිළිතුරු දෙමින්, “යේසුස්වහන්සේ මම දනිමි; පාවුල් ද හඳුනමි; එහෙත්, නුඹලා කවුරු දැ?” යි ඇසී ය. 16එවිට දුෂ්ටාත්මය වැහී සිටි මිනිසා ඔවුන් පිට පැන, ඔවුන් හැම යට කර දැම්මේ ය. ඔහු කෙතරම් සැහැසි ව ඔවුන්ට පහර දුන්නේ ද යත් ඔවුහු තුවාල වී නිර්වස්ත්‍ර ව, ඒ නිවසින් පැන දිවූහ.
17එපීසයේ විසූ යුදෙව් හා ග්‍රීක සියල්ලන් මෙය දැනගත් කළ, ඒ සැවොම බියෙන් ඇලළී ගියහ. යේසුස් ස්වාමින්වහන්සේගේ නාමය ද ඉහළ ම ගෞරවයට පාත්‍ර විය. 18අදහාගත් බොහෝ දෙනෙක් අවුත්, තමන්ගේ දුෂ්ට අභ්‍යාස ගැන ප්‍රසිද්ධියේ පාපොච්චාරණ කළහ. 19මන්තර ගුරුකම්වල නියැළුණු තවත් බොහෝ දෙනෙක් ද තමන්ගේ මන්තර පොත් ගෙන අවුත්, ඒවා සියල්ලන් ඉදිරියේ පුලුස්සා දැමූහ. ඒවායේ මිල ගණන් බැලූ කල ඒ සියල්ල රිදී මිල#19:19 රිදී මිලයක් යනු දිනක වැටුප වේ. පනස් දහසක් බව දැනගන්නා ලදී. 20ස්වාමින්වහන්සේගේ වචනය මේ අන්දමින් වඩ වඩා පැතිරිණි; බලයෙන් ද සපිරිණි.
21මේ සියල්ල සිදු වූ පසු පාවුල් මකිදෝනිය හා අකාය හරහා යෙරුසලම බලා යෑමට තීරණ කළේ ය. “යෙරුසලමට ගියාට පසු මා රෝමයත් දකින්න යා යුතු යැ” යි ඔහු පැවසී ය. 22සිය සහායකයින් දෙදෙනා වූ තිමෝති හා එරස්තස් මකිදෝනිය වෙත පිටත් කළ පාවුල්, තවත් මද කලක් ආසියා කලාපයේ ගත කළේ ය.
එපීසයේ කලබැගෑනිය
23මෙකල ධර්ම-මාර්ගය ගැන මහත් කැලඹීමක් හට ගැනිණි. 24දෙමිත්‍රියස් නම් රිදීකරු, අර්තෙමිස් දේවතාවියගේ රිදී පිළිම-කූඩු සෑදීමෙන් රිදී කර්මාන්ත ශිල්පීනට සලසා දුන්නේ සුළු පටු ව්‍යාපාරයක් නො වේ. 25ඔවුන් ද එම කර්මාන්තයට අදාළ අනිකුත් ශිල්පීන් ද එක් රැස් කළ හෙතෙම, “මිනිසුනි, මේ ව්‍යාපාරයෙන් අපට හොඳ ආදායම් ලැබෙන බව ඔබ දන්නවා. 26එහෙත් මේ මිනිසා, පාවුල් එපීසයෙහි පමණක් නො ව ආසියා කලාපය පුරා මහත් ගණනාවක් ජනයා තම පැත්තට හරවාගෙන, ඔවුන් මුළා කරන හැටි ඔබ අසනවා; ඔබ දකිනවා; ඔහු කියන්නේ, මිනිස් අතින් සාදන දෙවිවරු සැබෑ දෙවිවරු නො වේ කියලයි. 27මෙහි අවදානම අපේ මේ කර්මාන්තය අපකීර්තියට පත්වීම පමණක් නො වේ; අපගේ ශ්‍රේෂ්ඨ අර්තෙමිස් දේවතාවියගේ දේවාලයත් අවමානයට පත් වීමයි. ආසියා කලාපයේ පමණක් නො ව මුළු ලෝකයේ ම වන්දනාමාන ලබන ඇගේ අභිමානය ද දියවී යනු ඇතැ” යි කීවේ ය.
28ඒ ඇසූ ඔවුහු කෝපාවිෂ්ට වී, “එපීසයන්ගේ අර්තෙමිස් උත්තමාවී” කියමින් කෑ මොර දෙන්නට වූහ. 29සැණෙකින් මුළු නගරය පුරා මහත් ගාලගෝට්ටියක් පැන නැගිණි. ඔවුහු පාවුල්ගේ ගමන් සගයින් වූ මකිදෝනියෙහි ගායස් හා අරිස්තාර්කස් අල්ලා, ඇදගෙන රංග පීඨයට කඩා වැදුණහ. 30ජනකාය ඉදිරියට යෑමට පාවුල්ට ඕනෑ වුව ද, ගෝලයෝ ඊට ඉඩ නුදුන්හ. 31පාවුල්ගේ මිතුරන් වූ ආසියා කලාපයේ ඇතැම් නිලධාරීහු පවා ඔහුට පණිවුඩ එවමින් රංග පීඨයේ අවදානමට මැදි නො වන ලෙස ඉල්ලූහ.
32රැස් වූ පිරිස අතර වූයේ දැඩි වියවුලකි. ඇතැම්හු එකක් ද තවත් අය තවෙකක් ද කියමින් කෑ මොර දුන්හ. තමන් මෙහි සිටින්නේ කුමක් නිසා ද යන්න පවා වැඩිදෙනා දැන සිටියේ නැත. 33යුදෙව්වරු, පිරිස ඉදිරියට ඇලෙක්සැන්ඩර් තල්ලු කළහ. එවිට ඔවුහු මේ මේ ලෙස කරන්නැයි ඔහුට කෑ ගැසූහ. එවිට කරුණු පහදනු පිණිස නිශ්ශබ්ද වන ලෙස ඔහු සංඥා කළේ ය. 34එහෙත් ඔහු යුදෙව්වරයකු බව වටහා ගත් ඔවුහු සියල්ලෝ, “එපීසයන්ගේ අර්තෙමිස් උත්තමාවී” යි එක හඬින් දෙපැයක් පමණ තිස්සේ කෑ මොර දෙන්නට වූහ.
35රැස් ව සිටි සෙනඟ සන්සුන් කළ නගර ලේකම්, “එපීස වැසියනි, ශ්‍රේෂ්ඨ අර්තෙමිස්ගේ දේවාලයේ ද අහසින් වැටුණු ඇගේ ප්‍රතිමාවේ ද ආරක්ෂකයා මේ එපීසය නගරය බව නො දන්නේ කවුරු ද? 36මේවා ප්‍රතික්ෂේප කළ නො හැකි කරුණු බැවින්, ඔබ සන්සුන් ව කලබල නො වී සිටිය යුතුයි. 37නුඹලා අල්ලාගෙන ආ මේ මිනිසුන් දේවාල කොල්ලකන්නන්වත්, අපගේ දේවතාවියට අපහාස කරන්නන්වත් නො වේ. 38දෙමිත්‍රියස් හා ඔහුගේ මිත්‍ර කර්මාන්තකරුවන් අත යම් කෙනකුට විරුද්ධ ව යම් පැමිණිල්ලක් ඇත්නම්, ඒ සඳහා උසාවි යා හැකියි; නඩු විසඳන බලධරයින් සිටී. තම පැමිණිලි කරන්නට ඔවුන්ට පුළුවන්. 39ඊටත් වඩා ඉහළට ඉදිරිපත් කළ යුතු චෝදනා ඇත්නම් නීති බලධාරීන්ගේ සැසියේදී ඒවා විසඳනු ඇති. 40අද දවසේ පැන නැගුණු කලබලය ගැන අපට විරුද්ධ ව චෝදනා නැගෙන්නට ඉඩ තියෙනවා. කිසි හේතුවක් නැතිව පැන නැගුණු මේ කෝලාහලය ගැන ප්‍රශ්න කරනු ලැබුවහොත්, ඊට දිය හැකි නිසි පිළිතුරක් අපට නැතැ” යි පැවසී ය. 41එසේ පැවසූ ඔහු රැස් වී සිටියවුන් විසුරුවා හැරියේ ය.
Nke Ahọpụtara Ugbu A:
ක්‍රියා 19: SCV
Mee ka ọ bụrụ isi
Mapịa
Lee anya n'etiti ihe abụọ
Kesaa
Ịchọrọ ka echekwaara gị ihe ndị gasị ị mere ka ha pụta ìhè ná ngwaọrụ gị niile? Debanye aha gị ma ọ bụ mee mbanye
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.