ක්‍රියා 9
9
සාවුල්ගේ හැරීම
1මේ අතර සාවුල් තවදුරටත් ස්වාමින්වහන්සේගේ ගෝලයින්ට එරෙහිව මරණ තර්ජන කරමින් හැසිරුණේ ය. ඔහු උත්තම පූජකයා වෙත ගොස්, 2දමස්කයේ මෙම ධර්ම-මාර්ගයට අයත් ස්ත්‍රී පුරුෂයින් හමු වුවහොත්, ඔවුන් සිරබාරයට ගෙන, යෙරුසලමට ගෙනෙනු පිණිස, දමස්කයේ සිනගෝග වෙත ලිපි ඉල්ලා ගත්තේ ය. 3මෙසේ යන ගමනේ ඔහු දමස්කය නගරයට ආසන්න වෙත් ම, එක්වර ම අහසින් විහිදුණු ආලෝක ධාරාවක් ඔහු වටා ලෙළ දුන්නේ ය. 4ඔහු බිම පතිත විය. එවිට, “සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ?” යි පවසන කටහඬක් ඔහුට ඇසිණි.
5“ස්වාමිනි, ඔබතුමා කවුරු දැ?” යි ඔහු ඇසී ය.
“ඔබ විසින් වධ හිංසා කරනු ලබන යේසුස් මම යැ” යි පැවසූ උන්වහන්සේ, 6“දැන් නැගිට පුරවරයට යන්න. ඔබ විසින් කළ යුතු දෑ එහිදී ඔබට දන්වනු ඇතැ” යි පැවසූහ.
7සාවුල් හා ගමන් ගත් මිනිස්සු කතා කර ගත නො හැකි ව බලා සිටියහ. ඒ කටහඬ ඔවුන්ට ඇසුණ නමුදු, කිසිවකුත් දකින්නට නො වී ය. 8සාවුල් බිමින් නැගිට්ටේ ය. ඔහු ඇස් ඇරිය නමුත් කිසිවක් ඔහුට පෙනුණේ නැත. එනිසා ඔවුහු ඔහුගේ අතින් අල්ලාගෙන, දමස්කය වෙත ගෙන ගියහ. 9දවස් තුනක් අන්ධ ව සිටි ඔහු කිසිවක් කෑවේවත්, බීවේවත් නැත.
10දමස්කයේ අනනියස් නම් ගෝලයෙක් සිටියේ ය. ස්වාමින්වහන්සේ දර්ශනයකින් ඔහු අමතමින්, “අනනියස්” යයි කී සේක.
“එසේය ස්වාමිනි” යි ඔහු පිළිතුරු දුන්නේ ය.
11එවිට ස්වාමින්වහන්සේ, “යන්න! සෘජු නම් වූ වීදියේ යූදස්ගේ ගෙදරට ගොස්, තාර්සස් සිට පැමිණි සාවුල් නැමැත්තා ගැන විමසන්න. අන්න! ඔහු යාච්ඤා කරමින් සිටී. 12අනනියස් නැමැත්තෙක් තමන් වෙත අවුත්, නැවත පෙනීම ලැබෙන පිණිස, තමන් මත අත් තබනු ඔහු දර්ශනයකින් දුටුවේ යැ” යි ඔහුට පැවසූ සේක.
13අනනියස් පිළිතුරු දෙමින්, “ස්වාමිනි, ඔබගේ ශුද්ධවතුන්ට යෙරුසලමේදී මේ මිනිසා කළ වින්නැහිය ගැන බොහෝ දෙනකුගෙන් මා අසා තියෙනවා. 14ඔහු මෙහි ඇවිත් සිටින්නේ, ඔබගේ නාමයෙන් අයදින්නන් සිරබාරයට ගැනීමට නායක පූජකයින්ගේ බලතල ඇති ව යැ” යි පැවසී ය.
15එහෙත් ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “යන්න! මේ මනුෂ්‍යයා අන්‍ය-ජාතීන් ද රජුන් ද ඉශ්‍රායෙල් ජනයා ද වෙත මගේ නාමය ගෙන යෑමට තෝරා ගන්නා ලද මගේ උපකරණයකි; 16මගේ නාමය උදෙසා ඔහු කොතරම් විඳවිය යුතුදැයි මම ඔහුට පෙන්වා දෙන්නෙමි” යි කී සේක.
17එබැවින් අනනියස් පිටත් ව, ඒ නිවසට පිවිස, සාවුල් මත අත් තබා, “සහෝදර සාවුල්, ඔබ මෙහි එද්දී, මාවතේදී ඔබට පෙනුණු යේසුස් ස්වාමින්වහන්සේ මා මෙහි එවුවේ ඔබට නැවත පෙනීම ලැබෙන පිණිසත්, ශුද්ධාත්මයාණන්ගෙන් ඔබ පූර්ණ වන පිණිසත්” යයි කීවේ ය. 18එසැණේ ම සාවුල්ගේ දෙනෙතින් කොරපොතු වැනි යමක් වැටිණි; යළිත් ඔහුට පෙනීම ලැබිණි. ඔහු නැගිට්ටේ ය; බව්තීස්ම කරනු ලැබුවේ ය. 19අනතුරුව ආහාර ගත් හෙතෙම යළි සවිමත් විය.
සාවුල් දමස්කයේ හා යෙරුසලමේ දේශනා කිරීම
සාවුල් දමස්කයේ සිටි ගෝලයින් සමඟ දින කිහිපයක් ගත කළේ ය. 20කල් නො යවා දමස්කයේ සිනගෝගවලදී යේසුස්වහන්සේ දේශනා කළ සාවුල්, “උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා යැ” යි ප්‍රකාශ කරන්නට වන්නේ ය. 21ඔහු එලෙස කතා කරනු ඇසූ සියල්ලෝ මවිත වී, “මේ නාමයට හඬ ගසන්නන්ට යෙරුසලමේදී මහ විනාශයක් කළේ මේ මිනිහා නො වේ ද? මොහු මෙහි ආවේත්, ඔවුන් සිරබාරයට ගෙන, නායක පූජකයින් වෙත ගෙන යෑමට නො වේ දැ?” යි ඇසූහ. 22එහෙත් සාවුල්, කතාවේ වඩ වඩා බලවත් වෙමින්, යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ ම වග සනාථ කරමින් දමස්කයේ විසූ යුදෙව්වරුන් නිරුත්තර කළේ ය.
23මෙසේ කලක් ගත වූ පසු සාවුල් මරා දැමීමට යුදෙව්වරු කුමන්ත්‍රණ කළහ. 24එසේ වුව ද ඔවුන්ගේ උපාය මාර්ගය සාවුල්ට දැනගන්නට ලැබිණි. ඔහු මරා දැමීමේ අදහසින් ඔවුහු දිවා රෑ දෙක්හි නගර දොරටු රැක සිටියහ. 25එහෙත් ඔහුගේ ගෝලයෝ, රැයක ලොකු කූඩයක සාවුල් හිඳුවා, නගර පවුරේ වූ කපොල්ලක් තුළින් නගරයෙන් පිටතට ඔහු බැස්සූහ.
26යෙරුසලමට පැමිණි සාවුල් එහි ගෝලයින් සමඟ එක් වන්නට උත්සාහ ගත්තේ ය. එහෙත් ඔහු සැබෑ ලෙස ම ගෝලයෙකැයි විශ්වාස නො කළ ඔවුහු ඔහු ගැන බය වූහ. 27එහෙත් බාර්ණබස් අපෝස්තුලුවරුන් වෙත ඔහු කැඳවාගෙන ගොස්, සාවුල්ගේ ගමනේදී ඔහු ස්වාමින්වහන්සේ දුටු අයුරුත්, ස්වාමින්වහන්සේ ඔහුට කතා කළ අයුරුත්, දමස්කයේදී යේසුස්වහන්සේගේ නාමයෙන් ඔහු අභීත ව දේශනා කළ අයුරුත් විස්තර කළේ ය. 28මෙසේ ඔවුන් සමඟ නැවතුණු සාවුල්, ස්වාමින්වහන්සේගේ නාමයෙන් අභීත ව දේශනා කරමින්, යෙරුසලමේ නිදහසේ සැරි සැරී ය. 29ඔහු ග්‍රීක් කතා කළ යුදෙව්වරුන් හා සාකච්ඡා කළේ ය; වාද කළේ ය. එහෙත් ඔවුහු, ඔහු මරා දමන්නට මං සෙවූහ. 30ඒ වග දැනගත් සහෝදරයෝ කායිසාරිය වෙත ඔහු කැඳවාගෙන අවුත්, තාර්සස් වෙත ඔහු පිටත් කර යැවූහ.
31මුළු යුදය, ගලීලය හා සමාරිය යන පෙදෙස් පුරා සභාවට සාමකාමී කාලයක් උදා විණි. සභාව ශුද්ධාත්මයාණන්ගේ අනුබලය ලබමින්, ස්වාමින්වහන්සේ වෙත භය භක්තියෙන් ද ගණනින් වැඩෙමින් ද ගොඩ නැගුණේ ය.
පේතෘස්, අයිනෙයස් හා දොර්කස්
32පේතෘස්, එක් එක් තැන්හි සංචාරය කරමින් ලිද්දාහි ශුද්ධවන්තයින් බැහැදැක්මට ගියේ ය. 33අට අවුරුද්දක් අංසබාගයෙන් ඔත්පළ ව හුන් අයිනෙයස් නම් මිනිසෙක් එහිදී ඔහුට හමු විය. 34පේතෘස් ඔහු අමතමින්, “අයිනෙයස්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබ සුව කරන සේක; නැගිටින්න! ඔබේ පැදුර අකුළා තබන්නැ” යි කීවේ ය. එකෙණෙහි ම ඔහු නැගී සිටියේ ය. 35ලිද්දාහි හා ෂාරොන්හි විසූ සියල්ලෝ ඔහු දැකීමෙන් ස්වාමින්වහන්සේ වෙත හැරුණහ.
36දොර්කස් හෙවත් මුව දෙන යන අරුතැති තබීතා නම් ඇදහිලිවන්තියක් යොප්පාහි විසුවා ය. යහපත් ක්‍රියා කිරීමේ ද දුප්පතුන්ට උපකාර කිරීමේ ද නියැළුණු ඈ, 37එදවස්හි රෝගී ව, මළා ය. ඇගේ මිනිය නාවා, උඩු මහල් කාමරයක තබනු ලැබී ය. 38යොප්පා, ලිද්දාවට නුදුරු බැවින් පේතෘස් ලිද්දාවේ සිටින බව ඇසූ යොප්පාවේ ගෝලයෝ, “කරුණාකර හනික අප වෙත එන්නැ” යි ඉල්ලමින් දෙදෙනකු අත ඔහුට පණිවුඩ යැවූහ.
39පේතෘස් නැගිට, ඔවුන් සමඟ පිටත් වුණේ ය. ඔහු එහි පැමිණි කල ඔවුහු උඩු මහලට ඔහු කැඳවාගෙන ගියහ. සියලු වැන්දඹු ස්ත්‍රීහු හඬ හඬා, දොර්කස් ඔවුන් සමඟ ජීවත් ව සිටියදී, නිම කර තිබූ සැට්ට කබා හා අනිකුත් ඇඳුම් පෙන්වමින් ඔහු වටා සිටගත්හ.
40එහෙත් ඔවුන් සියලු දෙනා කාමරයෙන් පිට මං කළ පේතෘස්, දණින් හිඳ, යාච්ඤා කළේ ය. ඉන්පසු මළ තැනැත්තිය දෙසට හැරී, “තබීතා නැගිටිනු” යි කී ය. ඈ ඇස් ඇරියා ය. එකල පේතෘස් දුටු ඈ, නැගිට හිඳ ගත්තා ය. 41ඔහු ඇයට අත දී, සිටගන්නට සලසා, ඉන්පසු ශුද්ධවතුන් හා වැන්දඹුවන් කැඳවා, ජීවත් වන තබීතා ඔවුන්ට බාර කළේ ය. 42මෙපුවත මුළු යොප්පාව පුරා පැතිර ගියෙන්, බොහෝ දෙනෙක් ස්වාමින්වහන්සේ අදහා ගත්හ. 43පේතෘස් දවස් කීපයක් සම් පදම් කරන්නකු වූ සීමොන් සමඟ යොප්පාහි නතර ව සිටියේ ය.
Nke Ahọpụtara Ugbu A:
ක්‍රියා 9: SCV
Mee ka ọ bụrụ isi
Mapịa
Lee anya n'etiti ihe abụọ
Kesaa
Ịchọrọ ka echekwaara gị ihe ndị gasị ị mere ka ha pụta ìhè ná ngwaọrụ gị niile? Debanye aha gị ma ọ bụ mee mbanye
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.